ලයිට් බිලට එරෙහිව සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි..

විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති මොහොතක එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදීමත් අධික ලෙස විදුලි බිල වැඩි කිරීම නිසා එම විදුලි බිල ගෙවා ගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8කගේ විදුලිය කපා දැමීමත් සහ ඒ තුළින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (8) දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

‘මහජන බාරය’ යන මූලධර්මය යටතේ ලක්ෂ සංඛ්‍යාත විදුලි පාරිභෝගිකයන්ගේ අයිතීන් සුරක්ෂා කිරීම උදෙසා මහජන උපයෝගීතා කොමිසම, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. කේ. මාපා පතිරණ සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ෆර්මාන් කාසිම් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.

ඇස්තමේන්තුගත ජල විදුලි ජනනය ගිගාවොට් පැය 3750 සිට 4510 දක්වා ඉක්මවා යාමත් විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩු වීම නිසා රුපියල් බිලියන 26ක් සහ විදුලි ඒකකයක මිල සියයට 18කින් වැඩි කිරීම නිසා රුපියල් බිලියන 26ක් බැගින් රුපියල් බිලියන 52ක් විදුලි බල මණ්ඩලය ලාබ ලබා ඇති මේ මොහොතේ එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදී තවදුරටත් විදුලි පාරිභෝගිකයන් මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත ජනතාවම පීඩාවට පත් කරමින් කටයුතු කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රට තුළ කාර්යක්ෂම විදුලි ජනන ප්‍රතිපත්තියක් නොමැති වී නිසා විදුලිය උත්පාදනය කිරීමේ හා කාර්යක්ෂමව සේවාවක් සැපයීමේ දී ගැටලු රාශියක් පවතින බවත් පුනනර්ජනනීය බලශක්ති හරහා විදුලි ඒකකයක මිල අඩුවට ලබා දිය හැකි මොහොතක එය කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් රට තුළ නොමැති වීම විශාල ගැටලුවක් බැවින් සියලුම විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බව යි.

එසේ ම මේ තුළින් විදුලි මිල පහළ දමන ලෙසත් ඒ උදෙසා මහජන උපයෝගීතා කොමිසම වැඩකටයුතු සිදු කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙසේ ලැබූ ලාභය ජනතාවට ලබා දිය යුතු බවත් ඊට අමතරව දුප්පත් විදුලි පාරිභෝගිකයන්ට නව මිල සූත්‍රයක් හරහා විදුලි ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි බව යි.

තවද රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සම්බන්ධ නිවැරදි දත්ත විදුලි බල මණ්ඩලය හෝ විදුලි බල අමාත්‍යාංශය සතුව නොමැති බවත් එම ආයතන 2 සතුව ඇති දත්තයන්ගේ පරස්පරතා දක්නට ලැබෙන බවත් එවැනි පරස්පරතා තිබියදී විෂය භාර අමාත්‍යවරයා විවිධ අනපනත් ඉදිරිපත් කිරීම පුදුම සහගත බවත් විෂය භාර අමාත්‍යවරයාට කියන්නට ඇත්තේ හිට්ලර් කෙනෙකු නොවී මහත්මා ගාන්ධි කෙනකු වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.