OFF ROADSOCIAL MEDIA PICKS

ගෝඨාභයට කඩේ යන්නේ ඇයි ?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වූ පශ්චාත් උපාධි ද්විත්වයක් සහිත එකම අපේක්ෂකයායි. මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සියලූම දෙනාගෙන් පරිඝණක විද්‍යාවට පශ්චාත් උපාධියක් සහිත එකම අපේක්ෂකයා ඔහුය.

ආරක්ෂක අමාත්‍යංශයේ ඒ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ සේවය කළ උසස් නිළධාරියෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම දුටු අයුරු අද Lanka Mag – Social Media Picks තුලින්.

එම සටහන පහතින්,

ගෝඨාභයට ඔච්චර කඩේ යන්නේ ඇයි?

ලඟදි දවසක යාලුවෙක් ඇහුව එහෙම.

මේ උත්තරේ ලියන්න ගොඩක් කල් බලාගෙන හිටියත් මේක තමයි ඊට හොඳම කාලය කියල මට හිතුණා.

කතාව පටන් ගන්නේ 2011 මගේ පලවෙනි රස්සාවෙන්. ආයතනයේ නම Lanka Logistics & Technologies Ltd. හැමෝම ලේසියට කිව්වේ LLTL කියලා. එවකට ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබ්බේ. යුද්ධය දරුණුවටම යන කාලේ යුද්ධයට අවශ්‍ය උපකරණ ලෝකයේ එක් එක් තැන සිට ලංකාවට ගෙන්වා ඒවා ඉතා ඉක්මනින් සංග්‍රාම භූමියට යැවීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය (Procurement) හැසිරවීමයි LLTL එකේ මූලිකම අරමුණ වුනේ. හැබැයි මම 2011 සම්බන්ධ වන විට යුද්ධය අවසාන නිසා ජාතික ආරක්ෂාවට සම්බන්ධ ව්‍යාපෘති වලටත් මේ ආයතනය කටයුතු ආරම්භ කරලා තිබ්බා.

(යහපාලනයට පින්සිද්ධ වෙන්න මීට මාස දෙකකට විතර කලින් LLTL එක වහල දැම්ම. ඒ ගැන වෙනම වෙලාවක ලියන්නම්. හැබැයි ලංකා යුධ ඉතිහාසයේ අති විශිෂ්ඨ සේවාවක් කරපු එහෙත් අඩුවෙන්ම ඇගයීමට ලක්වුණු ආයතනයක් තියෙනවනම් LLTL ඒකෙ උඩින්ම තියෙන්න ඕනේ කියන එකයි මගේ මතය).

කොහොම හරි, මගේ අධ්‍යාපන පසුබිමත් එක්ක වැඩ කරන්න තිබ්බේ තොරතුරු තාක්ෂණ අංශයට සම්බන්ධ ව්‍යාපෘතිවල. මුලින් වැඩ පටන්ගනිද්දි හරියට නොතේරුණත්, කාලයක් ඒ ව්‍යාපෘති වල සම්බන්ධ වෙලා වැඩ කරද්දී තමයි තේරුණේ ඒවායෙන් ජාතික ආරක්ෂාවට තියෙන වැදගත්කම. ඒ ව්‍යාපෘති සියල්ලක්ම පාහේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම මත ආරම්භවුණු ව්‍යාපෘති.

උදාහරණයක් විදියට අදටත් ඔය හැම තැනම හොමෝම කරන්න උදම් අනන විද්‍යුත් ජාතික හැඳුනුම්පත් වගේ ව්‍යාපෘති ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා දැක්කේ මීට අවුරුදු 10කට කලින්. දැකල විතරක් නිකන් හිටියේ නෑ. වැඩත් ආරම්භ කරලා, කොළඹ සහ මොරටුව විශ්ව විද්යාලවල ප්‍රවීණයෝ වගේම බොහෝ විශේෂඥයෝ සම්බන්ධ කරලා ඒ වැඩ කටයුතු ඉදිරියටම අරගෙන ගියා. (අවාසනාවට 2015 ආණ්ඩු මාරුවෙන් පස්සේ තිබ්බ ඒ ව්‍යාපෘතිය නැවතුනා. අවුරුදු 4ක කාලය මුදල් ඔක්කොම වතුරේ ගියා).

තව කිව්වොත් නවීන තාක්ෂණය ඇසුරෙන් සියලුම පොලිස් ස්ථාන සම්බන්ධ කරපු ජාලයක් ඇති කිරීමටත්, ඒ හරහා තොරතුරු හුවමාරුවත්, ශ්‍රී ලංකා පොලිසියත් දියුණු රටවල පොලිසි මට්ටමේ තාක්ෂණයෙන් පරිපුර්ණ කරන්නත් එතුමා දැක්කේ 2010දී පමණ. ඒ වැඩ කටයුතුත් 2015 ආණ්ඩු මාරුවෙන් නැවතුණා.

ඔය කිව්වේ ප්‍රධාන ව්‍යාපෘති 2ක් විතරයි. එතනින් එහාට ජාතික ආරක්ෂාවට සම්බන්ධ අතිශය තීරණාත්මක ව්‍යාපෘති ගණනාවක්ම ආරම්භ කර ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නත්, අවශ්‍ය ඕනෑම සහයක් සපයන්නත් එතුමා නොපසුබටව ඉදිරිපත්වුණා. (ඒ බොහෝ ව්‍යාපෘති ප්‍රසිද්ධියේ මෙහි සඳහන් කල නොහැකි වූවත්, ඒවා නිසා යුධ, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත්, රාජ්‍ය බුද්ධි සේවාවටත්, තවත් ආයතන රැසකටත් බොහෝම වාසි සැලසුණු බව කියන්නම ඕනේ). ඒ හැම අවශ්‍යතාවයක්ම එතුමා දැක්කේ මීට අවුරදු 10කට විතර කලින්. රටට අවශ්‍යම කාලයේ. ඒකයි මම හැමදාමත් සිතන්නේ එතුමා දැක්මක් ඇති නායකයෙක් විදියට. ඒ දැක්ම අවුරුදු 1-2ක් නෙමෙයි. දශක ගණනක් ඉදිරියට.

ඔය කියපු ව්‍යාපෘති හැම එකක්ම මිලියන 250 සිට බිලියන 15 වගේ විශාල ප්‍රමාණවල ව්‍යාපෘති. ඉතින් ඒ වෙනුවෙන් පත් කරපු විශේෂ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටු (Standing Cabinet Appointed Procurement Committee) අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටු වගේම තාක්ෂණ ඇගයීම් කමිටු (Technical Evaluation Committee) වලත් වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. අදටත් මම විශ්වාස කරන පාරදෘශ්‍ය මට්ටමෙන් ඉහලම ව්‍යාපෘති ඔය කාලය තුල කරපුවා කිව්වොත් නිවැරදි. ඒ ව්‍යාපෘති වල වටිනාකම රුපියල් බිලියන ගණනක් වුණත්, කිසිම දවසක, “කාවද තෝරාගත්තේ”, “ඇයි මේ company එක නැතුව අරක තෝරාගත්තේ?”, “මේකත් සලකලා බලන්න” කියල එකම එක දවසක්වත් කියලත් නෑ. බලපෑම් කරලත් නෑ. ඒ නිසයි කවුරු මොනවා කිව්වත්, වංචාකාරයෙක් කිව්වත්, හොරෙක් කිව්වත් මට ඔහුව එහෙම නොපෙනෙන්නේ.

ඒ විතරක් නෙමෙයි. ඒ කාලේ ආරක්ෂක අමාත්‍යංශයට ඇතුළු වෙද්දී Galle Face එක ළඟ ගේට්ටුවේ ඉඳල එද්දිම ලස්සනට හදල පිරිසිදුව තියෙන්නේ. Entrance එක ළඟ ලස්සනට තණකොළ අල්ලලා, ලස්සනට කාපට් දාල, reception එකේ ප්‍රසන්නව කතා කරන්න දන්න officersලව දාලා තියෙන්නේ එන ඕනෑම කෙනෙක්ව සාදරයෙන් පිළිගන්න. අමාත්‍යංශය ඇතුලේ වුනත් විධිමත්ව අංශ බෙදලා ලස්සනට පිරිසිදුවට තියෙන්නේ. විශේෂයෙන්ම රැස්වීමකට ගියොත් ලංකාවේ අමාත්‍යංශයකින් බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ උසස් තත්වයක් තිබ්බේ. රැස්වීමකට තේ අරගෙන ආපු පුද්ගලයාගේ ඉඳල, සංග්‍රහ කරපු තේ කෝප්පය දක්වා පහල මට්ටමට තිබ්බ හැම දේකම පිළිවෙලක් ඇතිකරලා තිබ්බා. ඒ පිළිවෙලම තමයි ඔහු රට ඇතුලේත් ඇති කලෙත්. විශේෂයන්ම කොළඹ නගරය ලෝකේ පිරිසිදුම, වේගයෙන්ම සංවර්ධනය වන ලැයිස්තුවල එතුමාගේ නායකත්වය යටතේ උඩටම අපු එක ගැන මම පුදුම වෙන්නේ නැත්තේ ඒ නිසයි.

ඔය දේවලට අමතරව එදිනෙදා ගෙනියන සාමාන්‍ය ලිපියක ඉඳල, පිටු 700-800ක Technical / Financial Evaluation Report එකක්, අතිශය සංකීර්ණ presentation එකක් හෝ ජනාධිපතිතුමාට යොමු කරන කැබිනට් පත්‍රිකාවක් යොමු කරන පිළිවෙලක් හදල තිබුණා. ඒ නිසාම අනවශ්‍ය කරුණු වලින් මිදිලා අදාල දේ පමණක් ඒවායේ සඳහන් කළා හැම වෙලේම. අපි meeting එකකට යද්දි උනත් හැම කරුණක්ම හොඳින් අධ්‍යනය කරලා, දහ දොළොස් පාරක් ලෑස්ති වෙලා යන්නේ එතුමාගේ තාර්කික ප්‍රශ්න කිරීම දන්නා නිසා. මේ ක්‍රමය දැකපු මම ඇතුළු සියලු දෙනා, දැන් එතුමා වියත්මග වේවා, වෙන ඕනෑම රැස්වීමකදී වේවා, අදාළ දේ පමණක් කතා කරන ක්‍රමයත්, වල්පල් කතා නොකිරීමත් දැක පුදුම නොවන්නේ ඒ නිසයි.

ඒ වගේම අමාත්‍යංශ ලේකම් කෙනෙක්ගෙන් එහාට ගියපු නවීනත්වයක්, තාක්ෂණ දැනුමක් එතුමාට තිබුණා. ඒක එතුමා යුධ හමුදාවේදී ලබගත් දැනුමත්, ඇමරිකාවේදී Systems Administrator කෙනෙක් විදියටත් ලබාගත්ත දැනුමත්, පශ්චාත් උපාධි දක්වාම ලබාගත් අධ්‍යාපනික පසුබිමත් එක්ක ආපු සංකලනයක් වෙන්න ඕනේ. වරක් අපි විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ රැස්වීමකදී MySQL සහ Oracle Database දෙක ගැන කතිකාවතක් ඇති වුනාම ඒ database දෙකම සංසන්දනය කරමින් කතා කරන්න තරම් ඉහල තාක්ෂණික දැනුමක් එතුමාට තිබ්බ. ඒ වගේම තවත් බොහෝමයක් ගැඹුරු තාක්ෂණික කරුණු ගැන කතා කරන්නත් එතුමාට දැනුම තිබ්බා.

ඒ විතරක් නෙමෙයි. එතුමා නිලධාරීන් කෙරෙහි විශ්වාසය තැබුවා වගේම ඔවුන්ගෙන් කලට වෙලාවට ප්‍රථිපල බලාපොරොත්තු වුනා. ඒ නිසාම නොදැකපු තාක්ෂණයක් ලංකාවට ගේන්න කලින් ඒ ගැන ඇගයීමක් සිදු කර, විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායමක් ඒ රටවලට යවල ඒවා පරීක්ෂණය කරලා වාර්තාවක් ලබාගෙන සුදුසුනම් පමණයි ඒවා මිලදී ගන්න කටයුතු කලේ. ඒ වගේම ඒ නිලධාරීන් වැඩ අතපසු කරන විට හෝ අනවශ්‍ය විදියට වැඩ ප්‍රමාද වන විට ඒවාට හඬ නැගීමටත් එතුමා කටයුතු කළා. ඒ නිසාම සමහර ව්‍යාපෘතිවල milestones complete කරන්න අපි දවසට පැය 12-13 එක දිගට සති ගණන් වැඩ කළා මතකයි මට. වරක් ආයතන ප්‍රධානියෙක් තම වැඩ කොටස ඉටු නොකර රැස්වීමකට පැමිණ එය සාධාරණිකරණය කරන්නට ගොස් මෙතුමාගෙන් දොස් අසා ගත් හැටිත් අද වගේ මතකයි. ඒ නිසාම එතුමා යටතේ පැවති ආයතන බොහෝ කාර්යක්ෂමවත්, ක්‍රමවත්වත් කටයුතු කිරීමත් ඒවායේ ප්‍රතිපල රට ඉදිරියේම දිස් වූ ආකාරයත් ගැන මම පුදුම වන්නේ නෑ.

තවත් ලියන්නට බොහෝ දේ තිබුනත් ඒ සෑම දෙයක්ම පෙන්නුම් කලේ එතුමා තුල තිබුණු නායකත්ව ගුණාංගත්, කුසලතාවයත්, හැකියාවත් වගේ සාධාණිය ලක්ෂණයි.

එතුමාගේ ක්‍රියා කලාපය සැබවින්ම දැක ඇති නිසා නොදැකපු පිරිස් එල්ල කරන, සාක්ෂි සහිතව ඔප්පු නොකළ කරුණු හා චෝදනා කිරීම කොතරම් සදාචාර සම්පන්නද කියා තේරෙන්නේ නැත. අනෙක් අතට ප්‍රයෝගිකව ජනාධිපති සටනේ සිටින දෙවෙනි අපේක්ෂකයා මෙතුමා අසලින්වත් තැබීමටවත් නොහැකියි කියා මුළු රටම දනී.

එබැවින් අත්දැකීමෙන්ම මා දුටු ඉහත කරුණු කාරණා සහ තවත් බොහෝම හේතු නිසා එතුමා විශිෂ්ඨ දැක්මක් ඇති, විනයක් ඇති, වංචා නොකරන, පිළිවෙලක්, ක්‍රමවත් බවක් ඇති, උගත් බුද්ධිමත්, සෘජු පාලකයෙක් බව නම් මට ප්‍රත්‍යක්ෂය. අප සියල්ලම බලාපොරොත්තු වන දියුණු ලංකාව භෞතිකවත්, ආර්ථිකයෙනුත්, සමාජියවත් ගොඩනගන්නට මේ මොහොතේ පෙනෙනතෙක්මානයේ සිටින්නේ ඔහු පමණි.

ඒ නිසා මම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමි. (යාළුවාට අනුව කඩේ යමි).

Lasantha Jayawardena

උපුටා ගැනීම ලසන්ත ජයවර්ධනගේ ෆේස්බුක් පිටුවෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button