BREAKING NEWSEXCLUSIVE

එජාප මන්ත්‍රී හමුව ගුටි කෙලියක් වීමට යද්දී රනිල් නැගිට යයි – හරීන්ගෙන් නවීන්ට දැඩි වාග් ප්‍රහාර

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ (16) එජාප මන්ත්‍රී කණ්ඩායම සිරිකොතට රැස්වූ අවස්ථාව දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන තිබේ.

එජාප නායකත්වය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සාකච්ඡා කිරීම සඳහා ඊයේ පස්වරු 5.00 ට පමණ මෙම මන්ත‍්‍රී හමුව ආරම්භ වූ අතර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 65 දෙනකු මෙම හමුවට පැමිණ තිබේ.

මෙම විශේෂ හමුව ඊයේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ මූලාසනයෙන් යුතුව රැස්වූ අතර එහිදී රන්ජන් රාමනායක සම්බන්ධව ඇතුළුව විවිධ දේශපාලන කාරණා සම්බන්ධවද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ඉන් අනතුරුව පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර එහිදී හරීන් ප‍්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු සජිත් පේ‍්‍රමදාසගේ පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් ඉතා උස් හඬින් යුතුව පක්ෂ නායකත්වයට සජිත් පේ‍්‍රමදාස මන්ත්‍රීවරයා පත්කරන ලෙසත් අවශ්‍ය නම් ඊට ඡන්ද විමසීමක් සිදුකරන ලෙසද ඉල්ලා තිබේ.

නවීන් දිසානායක මන්ත්‍රීවරයා එයට එරෙහිව අදහස් දක්වද්දී හරීන් ප්‍රනාන්දු ඇතුලු පිරිසක් ඔහුට බැන වැදී තිබේ.

එවිට මන්ත‍්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරු ඇතිවෙද්දී ඡන්ද විමසීමක් කළ නොහැකි බවට පවසා රැස්වීම පැවැති ශාලාවෙන් රනිල් වික‍්‍රමසිංහ මන්ත්‍රීවරයා නැගිට ඉවත්ව ගොස් තිබේ.

ඉන් අනතුරුව රැස්ව සිටි මන්ත‍්‍රීවරුන් පක්ෂ නායකත්වයට සජිත් පේ‍්‍රමදාස මන්ත්‍රීවරයා යෝජනා කරමින් අත් ඔසවා කැමැත්ත පළකර ඇති අතර එහිදී මන්ත‍්‍රීවරුන් පනස් දෙදෙනකුගේම සහාය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබී ඇති අතර අනෙකුත් මන්ත‍්‍රීවරුන් 13 දෙනා නිහඬව සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මාධ්‍යයට පැවසූවා.

එම මත විමසීමෙන් අනතුරුව සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය පක්ෂ නායකත්වයට සජිත් පේ‍්‍රමදාස මහතා පත්කර ගත්තා යැයි කියමින් හඬ නඟා ඇති අතර එය තහවුරු කර ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්ද, පක්‍ෂ සම්මේලනයක් ද කැඳවිය යුතු බවට යෝජනා කර තිබේ.

ඒ අතර රනිල් වික‍්‍රමසිංහ මන්ත්‍රීවරයාට හිතවත් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු වික‍්‍රමසිංහ මන්ත්‍රීවරයාගේ නිල කාමරයේ තවත් සාකච්ඡාවක් පවත්වා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button