BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

බස් හා දුම්රිය ගමන්වාර හෙට සිට ඉහළට

පළාත් තුල ධාවනය කරන බස් රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව හෙට සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව හෙට දිනයේදී වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ අනුව දුම්රිය ගමන්වාර 70 ක් හෙට දිනයේදී ධාවනයට එක් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එසේම, හෙට දිනයේදී කලාප සහ දිස්ත්‍රික්ක තුල අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන මගී ජනතාව සඳහා අවශ්‍යතාවය පරිදි  බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද ප්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ද සඳහන් කළේ මගී අවශ්‍යතාවය පරිදි පළාත් තුල සීමිත බස් සංඛ්‍යාවක් හෙට සිට ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් එහි වෙබ් අඩවියට පිවිස දිනයක් වෙන් කර ගැනීමෙන් අනතුරුව ඒ සඳහා පැමිණිය යුතු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අයදුම්කරුවන් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ මාතර, වව්නියාව, මහනුවර සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණිය යුත්තේ එලෙස දින වෙන් කර ගැනීමෙන් පසුවයි.

සීමිත සේවාලාභීන් පිරිසක් සඳහා පමණක් මෙලෙස විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සිදුකරන අතර, ප්‍රධාන කාර්යාලය පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා පමණක් විවෘතව තැබෙනවා.

එසේම, සංචරණ සීමාවන්ට යටත්ව හෙට සිට නැවත සේවාවන් ආරම්භ කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය සහ කළුතර ශාඛා මගින් තවදුරටත් සේවා සැපයෙන්නේ නැහැ.

ඊ චැනලින් මගින් වේලාව වෙන් කර ගත් සේවාලාභීන් සඳහා පමණක් මෙලෙස සේවා සැපයීම ආරම්භ වන අතර එම කටයුතු සිදුනොවන ශාඛා මගින් සේවා ලබා ගත හැකි දින සහ වේලාවන් ඉදිරියේදී දැනුම් දෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිවේදනය කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button