BREAKING NEWSEXCLUSIVEPOLITICS

වෛද්‍ය උපාධිය වයස අවුරුදු 22න්, අනෙකුත් උපාධි අවුරුදු 20 සම්පූර්ණ කිරීමට අගමැතිට යෝජනාවක්..

දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු පමා නොකළ යුතු බව හිටපු ජනාධිපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරනවා.

ඒ ඊයේ (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින්, ඔහු තම ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳ සටහන් කර තිබුනේ මෙලෙසින්..

වෛද්‍ය උපාධිය වයස අවුරුදු 22 වන විට සම්පූර්ණ කිරීම හා අනෙකුත් මූලික උපාධි වයස අවුරුදු 20 වන විට සම්පූර්ණ කිරීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවැති හමුවේ දී ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව අවධානය යොමු කරමින් මේ බව සඳහන් කළෙමි.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ මේ වන විටත් ඒ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් නියමිත පරිදි විභාග පැවැත්වීම සහ ප්‍රමාදයකින් තොරව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සිදු කරන බවත් මෙම හමුවේ දී අනාවරණය විය.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී යහපාලන ආණ්ඩුව කාලයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය වෙනුවට මා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුගයේ පැවැති බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙම හමුවේ දී ඉල්ලා සිටියේය.

සියයට 12ක්ව පැවැති ආදායම් බද්ද යහපාලන ආණ්ඩුවෙන් සියයට 24ක් දක්වා වැඩි කර ඇති බවත් වෘත්තිකයන් ව්‍යාපාරිකයන් ලෙස සලකා බදු අය කිරීම සිදුවන බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දුන්නේය. අදාළ ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡාවක් සූදානම් කරන්නැයි මම මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නෙමි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයේ දී ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව ජාතික වැටුප් ප්‍රතිපත්තිය මත පිහිටා වැටුප් කොමිසමේ නිර්දේශ අනුව වැටුප් සම්බන්ධ ගැටලු විසඳන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහි දී වැඩි දුරටත් මගෙන් ඉල්ලා සිටියේ ය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානී සේනාරත්න, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ තරංගා හේරත්, කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කළුතන්ත්‍රි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යන මහත්ම මහත්මීහු ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු පිරිසක් මෙම හමුවට එක්වූහ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button