BREAKING NEWSEXCLUSIVE

මෙරට නවතම තාක්ශණික අත්දැකිම “තාක්ෂණ උද්‍යාන”

ගාල්ල, කුරුණෑගල, දිගන, නුවරඑළිය සහ හබරණ යන උපාය මාර්ගික ස්ථානවල ඉදිවන අති නවීන තාක්ෂණික යටිතල පහසුකම්වලින් සමන්විත ජාතික තාක්ෂණික උද්‍යාන පරිසර පද්ධති සංවර්ධනය ආරම්භ කිරීමේ මූලික පියවර ලෙස ගාල්ල, වලහන්දූව තාක්ෂණ උද්‍යාන භූමියට අද (17) පස්වරුවේ පැමිණි ජනාධිපතිතුමා ව්‍යාපෘති පුවරුව විවෘත කර වැඩ භූමිය නිරීක්ෂණය කළේය. ගාල්ල තාක්ෂණ උද්‍යානයේ නිල ලාංඡනය එළි දැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

අක්කර 30ක පමණ වපසරියක විහිදෙන තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම් 2023 වසර මැද වන විට නිම කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාව තුළ දේශීය සහ ජාත්‍යන්තර තාක්ෂණික ආයතන සඳහා යටිතල පහසුකම් හි අවශ්‍යතාව තහවුරු කරමින් එක් තාක්ෂණික උද්‍යානයක භූමි ප්‍රමානය උදෙසා ආසන්න වශයෙන් වර්ග අඩි 350,000ට වඩා වැඩි ප්‍රමානයක් මේ සඳහා එක් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම මුලපිරීම සමස්ත ජාතික ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපායේ ප්‍රධාන පැතිකඩක් වනු ඇති අතර ශ්‍රී ලංකාව තාක්‍ෂණ සේවා සහ නවෝත්පාදන සඳහා වඩාත් ඵලදායි ගමනාන්තයක් ලෙස අඛණ්ඩව ස්ථානගත වී ඇති බැවින් එය තුලින් අද්විතීය වටිනාකමක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර එය රට තුල අනාගතයේදී අපේක්ෂා කරන ඩිජිටල් ආර්ථික ඉලක්ක කරා මෙහෙයවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (Cultural Technological Innovation) ගොඩනැගීම අරමුණු කරගනිමින් දිවයින පුරා “තාක්ෂණ උද්‍යාන” පහක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය, දියුණු තාක්ෂණයෙන් යුත් නව සමාගම් දිරිමත් කිරීම, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය, නව රැකියා අවස්ථා ඇති කිරීම, දැනුම බෙදාහැරීම, අදාළ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ විදේශ විනිමය ඉපැයීමෙන් ජාතික ආර්ථික සංවර්ධනයට දායක වීම මෙමගින් අපේක්ෂා කෙරේ.

ගාල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම තාක්ෂණ උද්‍යාන ඉදි කිරීමට නියමිතය.

5G සන්නිවේදනය සහිත නවීන තාක්ෂණික පහසුකම්, නැනෝ පර්යේෂණ ආයතන, විනෝදාස්වාද ක්‍රියාකාරකම්, තෝරාගත් ස්ථානවල ස්වභාවික පරිසරය හා මුසු වූ ක්‍රීඩා මෙන්ම මානසික හා ශාරීරික විවේක මධ්‍යස්ථානවලින් “තාක්ෂණ උද්‍යානය” සමන්විත වේ.

ගාල්ල තාක්ෂණ උද්‍යානය ඉදි වීමත් සමග සෘජු රැකියා අවස්ථා 2,000ක් පමණ සහ වක්‍ර රැකිය අවස්ථා රැසක් බිහිවන බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා උත්සව සභාව පිළිගනිමින් සඳහන් කළේය.

එමෙන්ම අධ්‍යාපන සහ තාක්ෂණ ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට මෙම ව්‍යාපෘතියෙන් දැවැන්ත දායකත්වයක් සැපයෙන බව රමේෂ් පතිරණ මහතා පෙන්වා දුන්නේය.

නව තාක්ෂණ උද්‍යාන ඉදිරියේ දී මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන ධාවකයක් බවට පත්වනු ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසීය.

රාජ්‍ය ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණයෙන් බද්ධ කෙරෙන බවත් ජනාධිපතිතුමා ලබාදී ඇති ඉලක්ක සපුරාලමින් ඉදිරි මාස 30 තුළ සියලු සේවා කටයුතු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, කංචන විජේසේකර, ජානක වක්කුඹුර යන මහත්වරු, දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button