ARTICLESNEWSPAPER COLUMNS

ණය බරින් රට ගොඩගන්න බැසිල්ට යෝජනාවක්

නිදහස ලබා වසර 73ක් ගත වූවත් ශ්‍රී ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රාජ්‍යයකි. නිදහස ලැබූ දින සිට අයවැය පරතරයද වසරෙන් වසර වැඩි වෙමින් පවතී.

එනම් සෑම වසරකම ශ්‍රී ලංකාවේ වියදම ආදායමට වඩා වැඩිය. මේ වෙනස පියවන්නේ කෙසේද ? බොහෝ දුරට විදෙස් ණය ගැනීමෙනි.

වසර 73ක් පුරාවටම රජයයන් මාරූ වූවත් සිදුවූ එකම ක්‍රියාදාමය මෙයය. මේ තත්ත්වය එක් ආණ්ඩුවක් මත රදානොපවතින කරුණක් බව පැහැදිලිය. එසේ නම් ශ්‍රී ලංකාවේ මේ ආර්ථික පරිහානියට හේතුව කුමක්ද ? අපේ රටේ ආදායමට වඩා වියදම වැඩිවීමට හේතුව කුමක්ද ?

පිළිතුර සරලය.

එය නම් ලොව අන් කිසිඳු රටක් නොකරන ලෙසට විශාලතම රාජ්‍ය සේවයක් නඩත්තු කිරීමේ අනිටු විපාකයි. මෙරට ජනගහනය ආසන්න වශයෙන් මිලියන 22කි. මෙරට රාජ්‍ය සේවය මිලියන 1.5ක් පමණ වේ. එනම් ආසන්න වශයෙන් මෙරට ජනගහනයෙන් 7.5%ක් රාජ්‍ය සේවකයන්ය.

ඔවුන්ට රජය විසින් සෑම මසකම වැටුප් ගෙවිය යුතුය. එපමණක් නොව විශ්‍රාම ගිය පසු විශ්‍රාම වැටුප් ගෙවිය යුතුය. මේ ශ්‍රී ලංකාවට පවතින විශාලතම වියදමකි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හෝ ලොව ඕනෑම දියුණු රටක රාජ්‍ය සේවය සමස්ත ජනගහනයෙන් 0.5%කටත් වඩා අඩු ප්‍රතිශතයකි. ආර්ථිකයට දැරිය නොහැකි තරම් විශාල රාජ්‍යය සේවකයන් පිරිසක් දියුණු රටවල නඩත්තු කරන්නේ නැත.

ශ්‍රී ලංකාවේ මේ ආර්ථික පරිහානියට දෙවන හේතුවත් මේ විශාල රාජ්‍ය සේවක හමුදාවත් සමගම බැදුනු කරුණක්. එනම් ශ්‍රී ලංකා රජය ව්‍යාපාර කිරීමට යොමු වීමයි. එම ව්‍යාපාර ලබනා අතිශය විශාල පාඩු අවසානයේ වැටෙන්නේත් ජනතාවගේ කරපිටටමය. මේ රාජ්‍යය ව්‍යාපාර සහ ඒවා ලබනා විශාල පාඩු මෙරට ආර්ථික පරිහානියට දැඩි හේතුවකි.

බොහෝ රටවල රාජ්‍යයයේ මැදිහත් වීම පවතින්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමටය. ඉන් එහා ගොස් රාජ්‍යය ව්‍යවසායක සංකල්පයක් මේ වනවිට ලෝකයේ දියුණු සංවර්ධිත රටවල ක්‍රියාත්මක වන්නේ නැත. අතීතයේ පැවති රාජ්‍යය විසින් ව්‍යාපාර කළ යුතුය යන “සුභසාධන රාජ්‍යය” සංකල්පය අසාර්ථක, යල් පැනගිය සංකල්පයකි.

කෙසෙවෙතත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තවමත් රාජ්‍ය ව්‍යාපාර මෙහෙයවයි. අතිශය විශාල පාඩු ලබනා එම ව්‍යාපාරයන් ලබනා කෝටි ගණන් වල පාඩුව අවසානයේ වැටෙන්නෙ මෙරට ජනතාවගේ කරපිටටය.

වර්තමානයේ මෙරට රාජ්‍ය ව්‍යාපාර රටට මහා බරකි. රාජ්‍ය අරමුදල් ගිල දමන බිහිසුණු රාක්ෂකයෙකි. රජයේ අයවැයෙන් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මේ රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කිරීමට වෙන් කිරීමට සිදුවී තිබේ. ඒවා ආණ්ඩුවට උදව් කරනවා වෙනුවට ආණ්ඩුවේ තියෙන සම්පත් ටිකත් නාස්ති කරයි.

නිදහසින් පසු ගෙවුණු දසක හතේදීම විවිධ රජයන් රාජ්‍ය ව්‍යාපාර විශාල ප්‍රමාණයක් ආරම්භ කර තිබේ. ඒ සංඛ්‍යාව 527 කි. එහෙත් වාර්ෂික වාර්තා නිසිලෙස ඉදිරිපත් කරන්නේ ඒ ආයතනවලින් 52 ක් පමණකි. වැදගත් රාජ්‍ය ව්‍යවසායන් ලෙස හැඳින්වෙන්නේ ඒ 52 පමණකි. බැංකු, රක්ෂණ, වරාය, බලශක්ති, වැවිලි කර්මාන්ත, ප්‍රවාහන හා ගුවන් සේවා වැනි ක්ෂේත්‍රවලට ඒ 52 අයත් වෙයි. සතොස වැනි ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ විකුණන රාජ්‍ය ආයතන ද ඒ 52 අතර පවතී.

මේ අතරින් බහුතරයද සෙසු ව්‍යාපාර සියල්ල රටට මහා බරක් වී ජනතාවගේ බදු මුදල් ගිලා දමමින් සිටියි. ලොව වෙනත් කිසිදු රටක මෙවන් විශාල රාජ්‍ය ව්‍යාපාර ගණනක් නඩත්තු කරන්නේ නැත. මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව අනුව ඒ රාජ්‍ය ව්‍යවසායන් 52 උපයා තිබෙන ආදායම පවතින්නේ සෘණ අගයකය. එනම් මේ ව්‍යාපාර පාඩු ලබමින් තිබේ.

රාජ්‍ය ව්‍යාපාර වෙන වෙනම ගෙන කතා කළහොත් පසුගිය යහපාලන රජය යටතේ විදුලිබල මණ්ඩලය 2019 දී ලබා තිබෙන පාඩුව රුපියල් මිලියන 85,000 කි. තෙල් සංස්ථාවේ පාඩුව 2019 දී රුපියල් මිලියන 12,000 කි. 2018 දී තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් මිලියන 1,06,000 කි. කෝටිවලින් නම් 10,600කි. එයාර් ලංකා සමාගමේ පාඩුව 2019 දී රුපියල් මිලියන 44,000 කි. 2019 දී ජල සම්පත් මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 2100 කි.

2019 දී දුම්රිය සේවය ලැබූ පාඩුව රුපියල් මිලියන 7600 කි. 2019 දී ලක් සතොස ලැබූ පාඩුව රුපියල් මිලියන 3000 කි. ලුණු සංස්ථාවේ 2019 පාඩුව මිලියන 11 කි. එහෙත් ඊට පෙර වසරවල ලංකා ලුණු සංස්ථාව ලාබ ලබා තිබේ.

මේ පාඩු ලැබූ මහා මුදල් පියවූයේ කෙසේද ? එක්කෝ ඒ මහජනතාවගේ බදු මුදලෙනි. එසේත් නොමැතිනම් විදෙස් ණය ලබාගෙනය. ශ්‍රී ලංකාවේ ණය කන්ද දිනෙන් දින ඉහළ යාමට ප්‍රධාන හේතුව මෙම පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරයන්ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව 2020 අප්‍රේල් මාසය අවසන් වන විට එසේ ගෙන තිබෙන සමස්ත ණය ප්‍රමාණය රුපියල් මිලියන පන්ලක්ෂ අනූදෙදහස් හත්සිය තිහකි. (මිලියන 5,92,730) එනම් රුපියල් කෝටිවලින් නම් 59,273 කි. තෙල් සංස්ථාව ඒ ණයට පොලිය ද ගෙවිය යුතුය.

මේ ණය ගෙවා දැමිය යුත්තේත් මහජනතාවගේ බදු මුදලෙනි. රාජ්‍ය ව්‍යාපාර මෙලෙසට පාඩු ලැබීම සියලු රාජ්‍ය ව්‍යවසායන්ට අදාල මහ පොදු සාධකයකි. බැංකු ලාබ ලැබුවාට ඒවා ද අකාර්යක්ෂමය වාණිජ බැංකුවලට ඉහළින් තිබෙන මහා බැංකුව ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්වීම එයට එක් නිදසුනකි.

කෙසේ නමුත් ඇතැම් රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබමින් හෝ පවත්වා ගැනීම පිළිබඳ අප විරෝධයක් නැත. ඒකාධිකාරියක් ඇතිවිය හැකි ක්ෂේත්‍ර පෞද්ගලික අංශයට පමණක් පැවරීමෙන් ජනතාව සූරාකෑමට ලක්විය හැක. ඒ හේතුවෙන් එම ව්‍යාපාර පාඩු ලබමින් රජය මෙහෙයුම් සිදු කළාට කම් නැත.

කෙසේ වෙතත් ගැටලුව වර්තමානයේ මෙරට එලෙසට නොකළ යුතු විශාල රාජ්‍යය ව්‍යවසායන් ප්‍රමාණයක් නඩත්තු කරමින් මහජනතාව මත එම බර පටවා තිබීමයි.

පෞද්ගලික අංශයට සාර්ථකව ඉටුකළ හැකි ඇතැම් ව්‍යාපාරවල රජය නිරත වන්නේ වෙනත් හේතු මතය. දේශපාලන අවශ්‍යතා, සතුරන්ගෙන් පලිගැනීම වැනි මහා අශිෂ්ඨ හේතුන් මත රජයට පවරා ගත් ව්‍යාපාර මේ වනවිට මහ ජනතාවට විශාල බරක්ව තිබේ.

වතු ජනසතු කිරීම ඊට එක් උදාහරණයකි. එය කළේ දේශපාලන හේතුවක් මතය. පෞද්ගලික වතු රජයට පවරාගෙන යළි සමාගම්වලට පැවරීම සිදුවූයේ දිගින් දිගට ලැබූ පාඩු මතය. පෞද්ගලික බස් රජයට පවරාගෙන යළි බස් සමාගම් ගොඩනැගීම සහ යළි ලංගම යටතට ගැනීම ද දේශපාලන හේතුන් මත සිදු වූ දේවල්ය.

මේ රාජ්‍යය ව්‍යාපාරකරණය කොතරම් දේශපාලනීකරණය වී තිබුනාදැයි කියනවා නම් දේශපාලන පලිගැනීමක් ලෙස මරදානේ බුහාරි හෝටලය රජයට පවරා ගැනීම කදිම නිදසුනකි. වතු ජනසතු කිරීම හා යළි ඒවා වැවිලි සමාගම්වලට දීමත් සම්පූර්ණයෙන්ම අසාර්ථක බව දැන් ඇස් පනාපිට සනාථ වී තිබේ.

මෙවැනි රාජ්‍ය ව්‍යාපාර රටට මහා බරක්, පාඩුවක් වූවත් ඒවායෙන් මිදීමට රටට පවතින ප්‍රධාන බාධයක් ලෙස වෘත්තීය සමිති පෙන්වා දිය හැක. මහජනතාවගේ බදු මුදල් ගිලින අසාර්ථක රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය කිරීමට උත්සාහ කළ විට ඒවාට විරුද්ධව වෘත්තීය සමිති විශාල අරගලයක් සිදු කරති. එකම හේතුව මෙම ව්‍යාපාර රජය සතුව පවතින තාක් ඔවුන් රජයේ සේවකයන් වීමය. එවිට වැඩ කළත් නොකළත් ඔවුන්ට පිං පඩි හිමි වේ. අවසානයේ දිවි ඇතිතෙක් මහජනතාවගේ බදු මුදලින් විශ්‍රාම වැටුපක් හිමිවේ. ඉතින් මේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය කරනවාට ඔවුන් විරුද්ධ වේ.

එම විරෝධයන්ට බිය වී රජය මෙම රාජ්‍යය ව්‍යාපාරයන් දිගින් දිගටම පවත්වා ගැනීම රටට කරනා මහා අපරාධයකි. එම හේතුවෙන් රටේ ආර්ථිකය විනාශ කරනා, මහජනතාවගේ බදු මුදල් ගිල දමනා මේ රක්ෂයාගෙන් ශ්‍රී ලංකාව දැන්වත් මිදිය යුතුය. ඒ සඳහා ගත යුතු නිර්භීත පියවර ගැනීමට පාලකයන් නිර්භය විය යුතුය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button