OFF ROADSOCIAL MEDIA PICKS

සපත්තු පොලිෂ් කරපු ළමයා කෝටිපති නළුවෙකු වෙයි

තවත් පුද්ගලයෙකුට වචනයෙන් හෝ කාරුණික වීම ඔබට මුදලක් වැය නොකර නොමිලයේම සිදු කළ හැකි දෙයක්. එලෙස හොඳ ගතිගුණ ඇති කර ගැනීම ඔබට යහපත් ලෙස බලපාන්නේ නොසිතන මොහොතකය.

එවන් කතාවක් අද Lanka Mag – Social Media Picks තුලින්.

සපත්තු පොලිෂ් කරපු ළමයා කෝටිපති නළුවෙකු වෙයි..
=================================

” සර්..සපත්තු දෙක පොලිෂ් කරන්න ද? “

” එපා දරුවෝ…”

” සර් එහෙනම් මට පාන් බාගයක් ගන්න සල්ලි දෙන්න…මම සපත්තු පොලිෂ් කරලා හම්බුවෙන සල්ලි වලින් ඒක ගෙවන්නම්…”

බ්‍රසීලයේ රියෝ ඩි ජැනීරෝ ගුවන් තොටුපළේ දී ඉහත දෙබස ඇති වූයේ තරුණ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු වු වෝල්ටර් සැලස් හා එහි සපත්තු පොලිෂ් කරමින් සිටි කුඩා දරුවෙකු අතරයි. කුඩා දරුවාගේ ප්‍රකාශය නිසා තරමක් සැළුණු චිත්‍රපට අධ්‍යක්ෂවරයා ට කුඩා දරුවාට පිහිට වන්නට සිතයි.

” ආ මේ සල්ලි වලින් පාන් ගෙඩියක් ගන්න…හෙට මගේ කාර්යාලට එන්න..එතකොට හොඳට කන්න බොන්න විතරක් නෙමෙයි සල්ලි හම්බු කරන්නත් පුළුවන්…”

තරුණ චිත්‍රපට අධ්‍යක්ෂ වෝල්ටර් සැලස් ළමයාට ලිපිනය ලබා දී තමන් පැමිණි කාර්‍ය සඳහා පිටව ගියේය.

පසුදින කාර්යාලයට ගිය වෝල්ටර් සැලස් ට දැකගත හැකි වුයේ අනපේක්ෂිත දර්ශනයකි. ගුවන් තොටුපළේදී සපත්තු පොලිෂ් කරන්නට ඉදිරිපත් වූ දරුවා පැමිණ තිබුණේ සපත්තු පොලිෂ් කිරීමේ රැකියාවේ යෙදී සිටි සියලුම දරුවන් ද රැගෙනය.

” මම ඔයාට විතරයි නේ එන්න කිව්වේ…ඇයි මේ තව අය එක්කගෙන ආවේ? “

” සර් කිව්වනේ ආවොත් කන්න බොන්න විතරක් නෙමෙයි සල්ලි හම්බු කරන්නත් පුළුවන් කියලා…ඒක නිසා මම වගේ වැඩ කරන තව ළමයි ටිකක් එක්කන් ආවා..”

දරුවාගේ කාරුණික ස්වභාවය ගැන පැහැදුණු වෝල්ටර් සැලස් ට එකවරම සිහියට පැමිණියේ තමන්ගේ අලුත් චිත්‍රපටයේ රඟපාන්නට කුඩා දරුවෙකු කාලයක් තිස්සේ සොයමින් සිටි ආකාරය ය. ඔහු ඒ මොහොතේම එහි සිටි සියලුම දරුවන් සම්මුඛ පරීක්ෂණයකට ලක්කළ අතර එහිදී ඔහුට තේරුම් ගියේ තමන් ගේ සපත්තු පොලිෂ් කිරීමට ඉදිරිපත් වු දරුවාට වඩා පැමිණ සිටි දරුවන් අතර දක්ෂයන් සිටිනා බවයි. නමුත් තමන්ගේ සපත්තු පොලිෂ් කිරීමට ඉදිරිපත් වූ දරුවාගේ කාරුණික ස්වභාවය තමන්ගේ චිත්‍රපටයේ චරිතයට ගැලපෙන නිසා ඔහුට එම චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව හිමිවිය.

සෙන්ට්‍රල් ස්ටේෂන් (Central Station) නමින් තිරගත වූ මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගනිමින් අති සාර්ථක චිත්‍රපටයක් බවට පත්විය.

එහි කුඩා දරුවාට රඟපෑ විනීසියස් ඩි ඔලිවේරා ( Vinicius de Oliveira ) එක රැයකින් බ්‍රසීලයේ සුපිරි තරුවක් බවට පත්විය.

🔺හැකි සෑම විටම කාරුණික වෙන්න…එය ඔබට නොසිතූ ප්‍රතිඵල ගෙනදෙන්නට හේතුවෙයි.

==================
සොනාල ගුණවර්ධන

උපුටා ගැනීම සොනාල ගුණවර්ධනගේ ෆේස්බුක් පිටුවෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button