BREAKING NEWSOTHERSPORTS

දකුණු ආසියානු ක්‍රිඩා උළෙල විචිත්‍රවත් කළ, ලංකාවේ ධෛර්යමත් කොට කෙල්ලගේ කතාව

ශ්‍රී ලංකාවට අද විශේෂ දිනයකි.දකුණු ආසියානු ක්‍රිඩා උළෙල විචිත්‍රවත් කළ ලංකාවේ ධෛර්යමත් කොට කෙල්ල

ඇය දිල්ෂි කුමාරසිංහයි. ශ්‍රී ලංකාවේ මීටර් 400 ජාතික ශූරිය වන නදීශා රාමනායක උණ රෝගයකට ගොදුරුව හැඩූ කඳුලින් තරඟයෙන් ඉවත් වෙද්දි අප සිතුවේ නියත පදක්කමක් අපෙන් ගිලිහුනා කියාය. නමුත් සිය ප්‍රධාන ඉසව්වෙන් පරිබාහිරව නදීශාට ආදේශයක් වෙමින් මීටර් 400 ඉසව්වට සහභාගි වුන මේ කෙල්ල කවුරුවත් නොසිතූ ලෙස රන් පදක්කමක් රටට ගෙනැත් දුන්නාය.

එතනින් නතර නොවුන දිල්ෂි සිය ප්‍රධාන ඉසව්ව වන මීටර් 800 ඉසව්වේ රන් පදක්කමද ලංකාවට ලබා දුනි. අභියෝගය මීටර් 400×4 ඉසව්වයි. නදිශා රාමනායක මෙන්ම නදීශාට පසුව හොදම කාලයක් හිමි නිමාලි ලියනාරච්චිද නොමැතිව ආදේශක ක්‍රීඩිකාවන් සමඟින් තරඟයට පිවිසීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය. මීට පෙර දකුණු ආසියානු තරඟාවලි 11ක වාර්තා පිරික්සූ කල මොන තරම් විශිෂ්ඨයන් සිටියත් අප මීටර් 400×4 ඉසව්වේදි ඉන්දියාවට ඒ වාර සියල්ලේම දෙවැනි වී තිබුණි.

නියත රිදී පදක්කම සම්බන්ධයෙනුත් බලාපොරොත්තු අත හැරීමට දිල්ෂි ප්‍රමුඛ කණ්ඩායම සුදානම් නැතුවා සේය. පළමු යෂ්ටි හුවමාරුව වන විට ලංකාව සිටියේ දෙවැනි ස්ථානයේය. දෙවන සහ තුන්වෙනි යශ්ටි හුවමාරුව වන විට ආක්‍රමණශීලි ඉන්දීය කණ්ඩායම තරඟය සිය සන්තකයට රැගෙන තිබුණි. පකිස්ථාන කණ්ඩායම විසින් ලංකාව තුන් වෙනි ස්ථානයට ඇද තිබුණෙ දැනෙන පරතරයක්ද සහිතවය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වන ක්‍රීඩිකාව ලෙස සිටියේ දිල්ෂිය. ඇය යශ්ටිය රැගෙන මුල් මීටර් 100 දිව්වේ “ඔන්න ඔහෙ උඹලා දෙන්නා ගැම්මෙන් දුවපන්කො” කියන්නාක් මෙනි. ඇය නිදහසේ දිව්වාය. මෙන්න අවසාන මීටර් 200 ඇය ක්‍රියාත්මක වෙන්නට පටන් ගත්තාය. ඉන්දීය ක්‍රීඩිකාව හොල්මන්ය. තිබ්බ පරතරය දිල්ෂි ආවරණය කරේ පළපුරුදු ක්‍රීඩිකාවක ලෙසය. අවුරුදු 20 දිල්ෂිගෙ ක්‍රීඩා ඥාණය සහ සංවේදිතාවය ගැන මහා ආඩම්බරයක් දැනුණි. මීටර් 400×4 කාන්තා ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවෙන් ගිලිහුණා නොව දිල්ෂි එය උදුරා ගත්තාය.

දිල්ෂි මාරය. ඇය ගැන හිතා ගන්නට බැරිය. ඇයව රැක ගැනීම ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ කාර්‍යභාරයකි. 2000 මුල් දශකයේ මෙන් මළල ක්‍රීඩා පරම්පරාවක් දැන් අපට නිර්මාණය වී ඇත. අරුණ දර්ශනගෙන් පටන් ගෙන දිල්ෂි, නිමාලි, විදූෂාගෙ සිට පාරමී මාරිස්ටෙලා දක්වා දක්ශ පරම්පරාවක් අපට සිටිති.

සමහරක් මිහරක් පරිපාලකයන් මළල ක්‍රීඩා ඉහළ පුටු වල අදටත් වැජඹෙන බව අපි දනිමු. ඔවුන් කියූ සමහරක් කතා සම්බන්ධයෙන් අපිට ඇත්තේ පිළිකුලකි. නමුත් මේ ඔවුන්ට ඉඩ දිය යුතු කාලය නොවෙයි. ඔවුන් සමඟ මේ ගමන යා නොහැකි නම් සුදුසු පුද්ගලයන් මේවාට පත් කළ යුතුය.

අවසාන වශයෙන් දිල්ෂිගෙ ජීවිත පාඨයකින් නවතිමි. දිල්ෂි ඔබට ශ්‍රී ලාංකිකයන්ගෙ ආදරය මේ සමඟ එවමි.  

” Don’t give up
When you don’t give up
You can’t fail ”

Gihan Sameera Gallage

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button