BREAKING NEWSEXCLUSIVEPOLITICS

මහ බැංකු අධිපති ධුරයේ වසර හයක පූර්ණ ධුර කාලයක් සේවය කරනවා – ආචාර්ය නන්දලාල් වීරසිංහ

මහ බැංකු අධිපති ධුරයේ වසර හයක පූර්ණ ධුර කාලයක් කටයුතු කිරීමට තමන් කැමැත්ත පළකර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අජිත් නිවාඩ් කබ්රාල් ගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරයට නන්දලාල් වීරසිංහ පත් කෙරුණි.

මේ සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවය සිදුකළ විමසීමක දී නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ මහ බැංකු අධිපති ධුරය භාරගැනීමට කැමැත්ත පළකිරීමේ දී මාස දෙකක් සේවය කර පිටව යාමේ අපේක්ෂාවක් තමාට නොතිබූ බවය.

තත්ත්වය එසේ වූයේ නම් තමා එම ධුරය භාර නොගන්නා බවද රට තුළ පවතින්නේ මාස දෙකකින් විසඳිය හැකි අර්බුදයක් නොවන බව ද නන්දලාල් වීරසිංහ මහතා එහිදී සඳහන් කර තිබේ.

මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සෙසු පාර්ශවකරුවන්ගේ සහය ලබාගැනීමේ තීරණය ප්‍රමාදයකින් තොරව ලබාගත්තේ නම් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මඟහරවා ගැනීමට හැකිව තිබූ බවය.

එමෙන්ම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ද මීට වසරකට පමණ පෙර ආරම්භ කළ යුතුව තිබූ අතර එම තීන්දු තීරණ ප්‍රමාද කිරීම වරදක් බව ඔහු සඳහන් කළේය.

මේ වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 05ක සහයක් අපේක්ෂා කෙරේ.

ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලබන සඳුදා දිනයේ මෙරටට පැමිණීමට නියමිත අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද එම සාකච්ඡාවල ප්‍රධාන නියෝජිතයෙකු ලෙස සහභාගී වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button