ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNS

නැවෙන් තෙල් හෝ රසායනික ද්‍රව්‍ය මෙතෙක් සාගරයට මුසුවී නොමැති බව තහවුරු කළා – ධීවර රාජ්‍ය ඇමති

මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් හෝ රසායනික ද්‍රව්‍යයක් මෙතෙක් සාගරයට මුසු වී නොමැති බවට නාරා ආයතනය හා පරමාණු බලශක්ති අධිකාරිය මගින් තහවුරු කර තිබෙනවා.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මේ බව ප්‍රකාශ කළේ ධීවර සමිති නියෝජිතයින් සමග මීගමුව ප්‍රදේශයේ අද පැවති සාකච්ඡාවකදීයි.

මීගමුව කලපුවෙහි ධීවර කටයුතු සිදු කිරීමට අද සිට යලි අවසර ලබා දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියා. ඔහු සඳහන් කලේ මේ වන විට තහනම් කර ඇති සෙසු මුහුදු කලාපද ධීවර කටයුතු සඳහා කොටස් වශයෙන් ක්‍රමයෙන් නිදහස් කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි.

නෞකාවේ ගිණි ගැනීම හේතුවෙන් රැකියා අහිමිවූ ධීවරයන්ට රුපියල් පන්දහසේ දීමනාව අද සිට ලබා දෙන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අද පැවති සාකච්ඡවේදී අමාත්‍යවරයා සඳහන් කලේ රැකියා අහිමි වීම සමග සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා දෙන තෙක් ඔවුන්ට එම දීමනාව ලබා දෙන බවයි.

මේ අතර ධිවර ජනතාවට ඉන්ධන සහනයන් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා එහිදී ප්‍රකාශ කලා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ගිලාබත්වෙමින් පවතින එම් වී එක්ස්පර්ල් නෞකාව සහ ධීවරයන්ට සහන ලබා දීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ද, ඊයේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබුණේ සුදුසු නිර්දේශ ලබාගෙන නිසි ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරයේ ධීවර කටයුතු සඳහා අවසර ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button