ශ්‍රී ලංකන් මනුස්සකම තවත් ඉස්මතු වේ – වුහාන් මානුෂීය මෙහෙයුමේ ශ්‍රී ලංකන් විරුවන් දිරි දීමනා ප්‍රතික්ෂේප කරයි

චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය එම ගමන වෙනුවෙන් ගුවන් සමාගමෙන් ලබාදී ඇති විශේෂ දිරිදීමනාව ප්‍රතික්ෂේප කර තිබේ.
වුහාන් ගුවන් මෙහෙයුමේ භූමි මෙහෙයුම් සඳහා නිරතව සිටි ගුවන් සමාගමේ සේවක මහත්ම මහත්මීන් සඳහා මුඛ ආවරණ, අත් ආවරණ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම මුදල් යොදවන ලෙසට ඔවුන් ගුවන් සමාගමේ පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇත.
වුහාන් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ UL 1423 ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවන් ලෙස චමින්ද ද සොයිසා සහ සංජය අනුෂ්ක ජීවන්දර යන මහත්වරු සහ සහායක ගුවන් නියමුවන් ලෙස ශෙහාන් සෙනෙවිරත්න, රවීන් රණතුංග යන නියමුවන් කටයුතු කළේය.
සෙසු කාර්ය මණ්ඩලය ලෙස ෆර්හාන් හනීෆා, සමින්ද පෙරේරා, ජෙනලි ජාන්ස්සා, කොසාන් අනුරුද්ධ, දනිදු දුනුසිංහ, දිනුක් මාරප්පෙරුම, වසීම් මොහොමඩ්, අමාලි පතිරත්නගේ, එල්, ඞී. එම්. පත්බේරිය, දර්ශන දිසානායක, බී. පී. ආර්. ඩී. පතිරාජ, මලීෂ ප්‍රසාද් යන කාර්ය මණ්ඩලය කටයුතු කළේය.
මාරාන්තික කොරොනා වයිරසය හේතුවෙන් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සියලුම කාර්ය මණ්ඩලය ස්වේච්ඡාවෙන්ම එම අවදානමට මුහුණ දීමද විශේෂත්වයකි.