BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඉන්දියාවේ වෛද්‍යවරුන්ට ප්‍රහාර එල්ල වෙද්දී, ලාංකීය සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන් වෙයි.

අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරතව සිටි වෘත්තීය සමිති පවසයි.

නිසි උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කරගනිමින් ඊයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීන් 14 ක් එම අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කර තිබුනා.

ඒ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, පි.සී.ආර්. සහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම, එම්. ආර්. ස්කෑන් සිදුකිරීම ඇතුළු සේවාවන් රැසකට දැඩි බාධා එල්ලවී තිබුණි.

මේ අතර, කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඉන්දීයාව තුල වෛද්‍යවරුන් විවිධ පාර්ශ්වයන්ගේ ප්‍රහාරයට ලක්වීමේ සිදුවීම් පසුගිය දිනවල වාර්තා වී තිබුණි.

එහි ආසන්නතම සිදුවීම ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් වාර්තාවී තිබේ. එම ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ආ කොවිඩ් ආසාදිතයෙකු මියයෑමත් සමඟ අදාළ පුද්ගලයාගේ ඥාතීන් විසින් සියුජ් කුමාර් සේනපති නමැති වෛද්‍යවරයාට පහරදී තිබේ.

එම වෛද්‍යවරයා විසින් ඔහුට පහරදුන් ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත්කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අදාළ පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අසෑම් ප්‍රාන්තයේ රෝහල්වල වෛද්‍යවරුන් විරෝධතාවල නිරතවී ඇත.

ඔවුන් ඉල්ලා සිටින්නේ කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ වෛද්‍යවරුන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒවා මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවරගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button