BREAKING NEWSEXCLUSIVEPOLITICS

වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කරන්නැයි ජනපති ශිෂ්‍ය සංවිධානවලට කියයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදුකළ යුත්තේ වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කිරීම මිස, දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පුරවර සරසවි වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් ඊට අදාළ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට අද ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඉදිරි සති කිහිපය තුල ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතයි.

නව තාක්ෂණය සමග රැකියා වෙළඳපොල ඉලක්ක කර ගනිමින් කුසලතා පූර්ණ උපාධිධාරින් පිරිසක් බිහි කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමා ද විරුද්ධ බව වැඩිදුරටත් කියා සිටියා.

පෞද්ගලික විශ්වවිද්‍යාල උපයන ආදායම් අධ්‍යාපනයේ ප්‍රවර්ධනය උදෙසාම වෙන් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.


Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button