BREAKING NEWSEXCLUSIVE

“පාඨලී බේරන්න පොලීසිය පැමිණිලිකරුවන්ටත් තර්ජනය කරලා, පොලීසිය ගැන ලැජ්ජයි” නීතිපති දෙපාර්තමේන්තුවෙන් සංවේදි කතාවක්

රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදු කර සන්දීප් සම්පත් නම් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක විසින් සිය බලය අයුතු ලෙස භාවිතා කර තිබෙන බව හෙළිවෙමින් තිබේ.

ඊයේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේ මෙම සිද්ධියට අදාලව චම්පික රණවක මහතා විසින් අධිකරණය නොමග යවා ඇති බවයි.

නොසැලකිළිමත්ව හා අපරික්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදුකිරීම, අනතුර සිදුකිරීමෙන් පසු එම ස්ථානයෙන් පලා යාම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙලෙසට පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගත්තා.

පාඨලී චම්පික බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම නිවසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක්ද පැමිණ සිටියේය.

අනතුරුව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආ අතර එම ස්ථානයට ඔහුගේ ආධාරකරුවන් රැසක්ද පැමිණ සිටියා.

පාඨලී චම්පික අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුවූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේය.

ඔහු පැවසුවේ මෙම නඩු කෘත්‍ය ආරම්භ වන්නේ හුදෙක් රිය අනතුරක් මුල්කරගෙන නොව සමස්ථ අධිකරණ ක්‍රියාවලියම නොමඟ යැවූ ප්‍රබල අක්‍රමිකතාවලින් සපිරුණු අපරාධ විමර්ශනයක් සම්බන්ධයෙන් වන බවයි.

2016 පෙබරවාරි 28 වනදා KT -7545 අංක හහඩුව සහිත විදුලිබල අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් යතුරු පැදියක් සමඟ ගැටී රාජගිරිය ප්‍රෙද්ශයේදී අනතුරක් සිදුව ඇති බවත් එහිදී යතුරු පැදියේ පසුපස ගමන්ගත් තරුණයා ජීප් රථයට ඉදිරියෙන් විසිවී ගොස් මාර්ගයේ වැටී තිබූ අතර යතුරු පැදිය පැදවූ සංදීප් ගුණවර්ධන නම් තරුණයා එම ස්ථානයේම ඇද වැටී තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පැවසුවා

එහිදී රජයට අයත් ජීප් රථය පැදවූ රියදුරු සිය පැති වීදුරුව පහත් කොට ඇද වැටී සිටි තරුණයින් දෙස බලා ඒ මොහොතේම රථයෙන් පලා යාමට තැත් කොට ඇති අතර එය හිට් ඇන්ඩ් රන් නොහොත් අනතුරක් සිදුකර පළායාමක් වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නා

නමුත් එම මොහොතේදී අනතුරට පත් යතුරු පැදිය සමඟම තවත් යතුරු පැදියක පැමිණි තරුණයින් දෙදෙනෙක් ජීප් රථය ලුහුබැඳ ඇති බවත් එම රථය වේගයෙන් රාජගිරිය සරණ පාර ඔස්සේ කොටා පාරට පිවිස රාජගිරිය ආයුර්වේද මංසන්ධිය දෙසට ධාවනය වෙමින් තිබියදී ජීප් රථය හරස් කොට නවත්වා ගැනීමට එම තරුණයින් දෙදෙනා සමත් වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , එහීදී එක් තරුණයෙක් ජීප් රථයේ ඉදිරිපස වම් දොර විවෘත කිරීමත් සමඟම , රාත්‍රී 9.30ත් පසුවී තිබූ මොහොතක අවු කණ්නාඩි පැලඳ සිටි රියදුරා “මම අමාත්‍ය පාඨලී චම්පික රණවක යනුවෙන්“ තමා හඳුන්වා දී ,අවශ්‍යනම් බොරැල්ල පොලිසියට පැමිණෙන ලෙස තරුණයින්ට පවසා ඇති බවයි.

එම අවස්ථාවේදී තරුණයින් දෙදෙනා මුහුණවරින් ඔහු හඳුනාගත්තද අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ රියදුරා වම්පස දොර විවෘතව තිබියදීම රථය යළිත් වේගයෙන් ඉදිරියට ධාවනය කරමින් පලාගොස් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

මෙවැනි පසුබිමක “තුසිත කුමාර “ නැමැත්තෙක් සිද්ධියෙන් පැය කිහිපයකට පසු බොරැල්ල පොලිසීයට ඉදිරිපත් වී තිබූ බවත් බොරැල්ල පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

නමුත් රිය අනතුර සිදුවූ ස්ථානය අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ වැලිකඩ පොලිස් ස්ථානය වන බැවින් තුසිත කුමාර නැමැත්තාව පසුව වැලිකඩ පොලීසියට ඉදිරිපත් කර තිබූ අතර වින්දිත තරුණයින්ට වඩා පොලිසිය වැඩි උනන්දුවකින් කටයුතු කර ඇත්තේ ඉදිරිපත්වූ රියදුරාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට බවටද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රථවාහන අධිකරණයේ විභාග වී අවසන් වූ නඩුවට වැලිකඩ පොලිසිය ඉදිරිපත් කළ ප්‍රකාශ වල සඳහන් වන්නේ වාහනය පැදවූයේ පාඨලී චම්පික රණවකගේ රියදුරා වන බවද දිලිප පිරීස් මහතා පෙන්වා දුන්නේය.

නමුත් ඒ ප්‍රකාශ සටහන් කරගත් පොලිස් කොස්තාපල්වරයාගෙන් මෙම විමර්ශනයට අදාළව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තමාට ඉහළ නිලධාරියෙක් වන ලක්මාල් නැමැති නිලධාරියාගේ උපදෙස් මත පාඨලී චම්පික රණවක මහතාගේ නම ප්‍රකාශවල සටහන් නොකර සිටි බව ඔහු පිළිගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ලක්මාල් නැමැති නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වැලිකඩ රථවාහන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි තමා එසේ කළ බව ඔහු පැවසූ බවත් , රථවාහන පොලිස් පරීක්ෂකවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කටයුතු කර ඇත්තේ වැලිකඩ පොලිස් ස්ථානාධිපති “අස්මන්ත“ නැමැති නිලධාරියාගේ උපදෙස් පරිදි වන බවත් අනාවරණ වී ඇතැයි අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.

එමෙන්ම රියදුරා බව පවසමින් ඉදිරිපත් වූ රියදුරාගේ දුරකථන සංඥා ඇතුළු පරිවේශනීය සාක්ෂි කිසිවක් සිදුවීම සමග නොගැළපෙන අතර සිදුවීමට ගැළපෙන්නේ පාඨලී චම්පික රණවකගේ දුරකථන සංඥා වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි යනුවෙන් පොලිස් ලාංඡනයේ ලියා ශරීරයේ පැළඳගෙන සිටි පමණින් ධර්මය සුරැකෙන්නේ නොමැති බව පොලිසිය අවබෝධ කරගතයුතු බවත් මෙම ක්‍රියාව දේශපාලන බලය සහ ධන බලය යොදාගෙන සිදුකරන ලද ඉතාම බරපතල ගණයේ ක්‍රියාවක් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පවසා සිටියේය.

වැලිකඩ පොලිසිය සිද්ධිය ඇසින් දුටු අයගේ ප්‍රකාශ විකෘති කරමින් ලජ්ජාසහගත ක්‍රියාවක නිරත වී ඇති අතර එවකට කොළඹ දිසාව භාරව සිටියේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට ඔහුගේ සම්බන්ධයද විමර්ශනවලින් අනාවරණ වී ඇති අතර ඔහුවත් ඉදිරියේදී මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කරන බවද පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ සිය දේශපාලන බලය භාවිත කරමින් නීතිය නැවීමට කටයුතු කිරීමට නොහැකි බව මෙවැනි තනතුරු දරන්නන්ට ප්‍රබල පණිවිඩයක් සමාජගත කිරීමට අවශ්‍ය බැවින් මූලික විමර්ශන සිදුවන මේ අවස්ථාව සැකකරුට ඇප ලබාදීමට කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නොවන බවයි.

මෙම අයුතු අධම ක්‍රියාදාමය වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බවත් නිල ඇඳුමින් මෙම ක්‍රියාවට හවුල්වූවන්ටද දැඩි දඩුවම් ලබාදිය යුතු හෙයින් පොලිස් නිලධාරින් කිහිපදෙනෙක්ද ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවේය.

ඒ අනුව විමර්ශන මුල් අවස්ථාවේ පැවතීම හේතුවෙන් සැකකරු මේ මස 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය මීලඟ නඩු දිනයේදී ප්‍රකාශ කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාව යළි බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේ එය වාර්තා කිරිමට අධිකරණය ඉදිරිපිටට පැමිණ සිටි මාධ්‍යෙව්දියෙකුට එක්සත් ජාතික පක්ෂ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා විසින් පහරදීමක් සිදු කර ඇත.

මංජුල පෙරේරා මීට පෙර ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධ සිද්ධියේදිද ඇයගේ නියෝජිතයෙකු ලෙස පෙනි සිටියේය.

පසුව පහරකෑමට ලක්වු මාධ්‍යෙව්දියා විසින් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට සිදු කළ පැමිණිල්ලකට අනුව පහර දුන් මංජුල පෙරේරා අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගැනුණු මංජුල පෙරේරා අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි ඔහු රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button