GOSSIP NEWSVIRAL NEWS

“පිං තිබුනොත් එන්න ලැබේවි, නැත්නම් මෙහේම මැරිලා යාවී” වුහාන්හි සිරවූ ශ්‍රී ලාංකික සිසුවෙකු ලියූ සංවේදි ලිපිය

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය නිම කළ උපාධිධාරියෙකු වන කසුන් චාමර වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා චීනයේ වූහාන් සරසවියට ගොස් මේ වන විට වුහාන්හි සිරවී සිටියි.

ඔහු වුහාන් සරසවි නේවාසිකාගාරයේ රැඳී සිටිමින් ඔහු ශ්‍රී ලංකාවේ පුවත්පත් කාර්යාලයක් වෙත සංවේදී ලිපියක් ඒවා තිබෙනවා.

එම ලිපියයි පහතින්,

‘චීනයේ නගර වලින් ලස්සනම නගරයක පිහිටා ඇති සරසවියක් වුණ වූහාන් සරසවිය දැන් හරිම අදුරු මූසල බවකින් පිරිලා. සරසවියේ ඇතුලේ තත්ත්වය අපි ඇස් දෙකෙන්ම දකිනවා.

ඒත් එළියේ තත්ත්වය අපි දකින්නෙත් අන්තර්ජාලය හරහා කවුරුන් හෝ නරඹන වීඩියෝ වලින්. අපිත් ඇතුළුව ලෝකයක් ආදරේ කළ ඒ ලස්සන නගරය කොරෝනා නම් වෛරසය විසින් ගිලගනිමින් ඉන්නවා

තාක්ෂණය අතින් කොච්චර ඉදිරියෙන් හිටියත්, යුද්ධමය අතින් කොයිතරම් බලවත් වුණත්, ස්වාභාව ධර්මයේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා.

“සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ“ කියන පද පේළිය මතක් වෙනවා මේවා දැක්කම.

අපි මොන දහම ඇදහුවත් මේ වගේ වෙලාවකදි තමයි හරියටම ඒ දහම් කරුණු පසක් වෙන්නෙ. ඒක මනුස්ස ස්වභාවය වෙන්න ඇති.

සති දෙකකට ආසන්න කාලයක් එකම කාමරයකට වෙලා දවසේ එකම දේවල් ටික ඒ විදියටම කරගෙන යන එක හරි අමාරු දෙයක්. පෘතග්ජනයෝ විදියට අපි හැම වෙලේම වෙනස් වෙන්න කැමති වෙනස් දේවල් කරන්න කැමති ඇවිදින්න කැමති පිරිසක්.

මේ වෙද්දි ලෝකෙම අවධානය චීනෙට යොමු වෙලා. මිනිස්සු කොරෝනා නිසා ජීවිතේ යදිනවා.ලෝකෙම හොල්ලගෙන ඒ ඔක්කොම යටත් කරගෙන හිටියත් ඇහැටවත් පේන්නැති පොඩි දෙයක් මුළු ලෝකෙම වෙනස් කරමින් ඉන්නවා. අහිංසක මිනිස්සු දහස් ගාණක් දුකට දාල හැම කෙනෙක්ගෙම මුහුණේ බිය, අවිනිශ්චිත බව පිරිලා. එකෙනෙකා දිහා සැකෙන් බලනවා.

ඇහැට පේන්නේ නැති පොඩි දෙයක් කරපු දේක තරම….

කොහොම උනත් ඒ මිනිස්සුත් මේක නවත්තන්න ලොකු උත්සහයක් ගන්නවා.

මිනිස්සු එක හඩින් කෑ ගහලා කියනවා ‘වූහාන් ජායෝ ‘ (යළි නැගිටිමු වූහාන්) කියලා. මේ වෙද්දි වැඩිපුරම කොරෝනා වෛරස් එක පැතිරිලා තියෙන, අපේ ශ්‍රී ලංකාව තරමටම ලොකු මේ නගරේ එක පුංචි කාමරෙකට වෙලා දවසින් දවස මොනවද වෙන්නේ කියලා අපි බලන් ඉන්නවා.

දන්න නොදන්න හැමෝම කතා කරලා දුක සැප අහනවා. පුළු පුළුවන් විදියට හැමෝටම කියනවා. ඒ වගේම ගෙවල් වලට සැප වැඩියෙන්, දුක අඩුවෙන් කියනවා.

අපි වෙනුවෙන් අඬන, දුක් වෙන අය අපි එක්ක කතා කරද්දි ඒ දුකක් ගොඩක් පෙන්නන් නැහැ. ඒ අපි ගැන හිතලා. අපිව මානසිකව හොඳ තත්ත්වයක තියන්න.

මුලින්ම මම හිතුවෙත් අපි ලෝකෙන්ම හුදෙකලා වෙලා කියලා. අහන්න දකින්න ලැබුණෙත් ලෝකෙන්ම හුදෙකලා වුණ වූහාන් නගරය කියලා. ඒත් දැන් මුළු ශ්‍රී ලංකාවම අපි එක්ක. ඒ සොඳුරු මනුස්සකම පිරුණු අපේම අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, දස දහස් ගණනක් අපි එක්ක ඉන්නවා. දුක සැප අහනවා. අපි එනකන් බලන් ඉන්නවා. දෙවියන්ට බුදුන්ට කියනවා. ආශිර්වාද කරනවා. සෙත් පතනවා. ඉතින් මෙච්චර දරුණු නගරෙක හිත සතුටින් ඉන්න තව මොනවත් ඕනිද ?

මෙහේ ඉන්න අපි වෙනුවෙන් මුළු ලංකාවක්, ලංකාවෙන් පිට ඉන්න හදවතේ තෙතමනය තියෙන මනුස්සකම පිරුණු මිනිස්සු ඔක්කොම එකතුවෙලා එක ප්‍රාර්ථනාවක් කරනවා. දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලනවා. ඒක බල සම්පන්නයි, ඒක බලගතුයි. ඒ ආශිර්වාදය අපිට සෙතක් වෙනවා. ඒක අපිට දැනෙනවා.

කවදාවක් නොදැක්ක නොදන්න, කවුද කොහේ කොහොම ඉන්න කෙනෙක්ද කියලවත් නොදන්න මගේම රටේ මගේම අය අපේ දුක සැප අහනවා. කන්න බොන්න එවන්න අහනවා. ටිකට් වලට සල්ලි ඒවන්න අහනවා. ඇවිත් නැවතිලා ඉන්න තැන් දෙන්න අහනවා.

දෙවියෝ අපේම මහපොළවේ අපිත් එක්ක. ඒ දෙවියො අපිට කතා කරනවා කියලයි අපිට හිතෙන්නේ. අපිට ඒ කිසිම දෙයක්එපා. ඒ වචන වලින්ම තේරෙනවා මේ හැමෝම අපි එක්ක ඉන්නවා කියලා.

එයාලත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙමින් ඉන්නවා. බයෙන් සැකෙන් ඉන්නවා. එහෙම තත්වෙක ඉදිද්දිත් අපි ගැනම හොයන ඒ හදවත් ඒ අපේකම ඒ සහෝදරත්වය ඒ මානුෂවාදී බව වෙන රටක නෑ. මෙහේනම් කොහෙත්ම නෑ.

අපි මේ ලෙඩ අරන් එන්න බලන් හිටියෙවත්, එහෙම එන්නෙවත් නෑ. අපි තාමත් හොඳින් ඉන්නවා. ඒත් එක්කෙනෙක්ටවත් මේක හැදුනොත් මෙහේ ඉන්න අනිත් අය බේරිලා මොකටද?

ඒ ලෙඩ වුණ කෙනා මෙහේ රෝහලකට ගිහින් දායි. චීන භාෂාව දන්න කෙනෙක්නම් කතා කරයි. ඒත් මෙහේ ඉන්න හැමෝටම චීන භාෂාව බැහැ. මේ ලියන මාත් ඇතුළුව… ඉතින් නොදන්න රටක නොදන්න දොස්තරලා ලෙඩ්ඩු ගොඩක් මැද තනි වෙලා ඉඳී.

කව්ද ඒ අය බලාගන්නේ. ඒ වෙලාවෙ ඒ කෙනාගෙ මානසික මට්ටම කොහොම වෙවිද? ඉතින් කොරෝනා නිසා නෙමෙයි මැරෙන්න වෙන්නේ හිතේ දුකට. අම්ම තාත්ත මතක් වෙද්දි නෑදෑයො ළගින් හිටපු කතාබහ කරපු අය මතක් වෙද්දි පපු පැලෙයි.

මේ වෙද්දි ලෙඩ්ඩුන්ගෙන් රෝහල් පිරිලා. ඉතින් මෙහේ රටේ අයට කළින් අපිව රෝහලට ගනීවිද? අපි මේ ඉල්ලන්නෙ ලෙඩවෙන්න කලින් ලංකාවට ඇවිත් නිරෝධායන මධ්‍යස්ථානයේ අපේ මිනිස්සු ළඟ වැටිලා ඉන්න.

මේ වෙද්දි මෙහේ අපි 33 දෙනෙක් ඉන්නවා. පොඩි ළමයි 4 දෙනෙකුත් එක්ක. තව අය ඉන්නව වෛද්‍ය සිසුන් එයාලා ඉන්නෙ රෝහල ළඟනේවාසිකාගාරවල. ඉතින් නිකමටවත් එළියට එන්න බයේ ඉන්නවා.

මේ වෙද්දි සමහර විශ්ව විද්‍යාල වලින් කෑම දෙනවා. මම ඉන්න තැනත් දෙනවා. ඇත්තම කියනවනම් මමත් එක්ක ඉන්න අනිත් තුන්දෙනා ඇතුළු අපි හතරදෙනා ඒ කෑම කන්නේ නැහැ. (මේ වගේ වෙලාවකදිවත් මුන්ට දෙන දේ කන්න බැහැ කියලා ඔයාලා හිතන්න එපා. ඒවයෙ මස් තියනව. අපිට තාම බයයි ඒව කන්න.) දවසට එක දෙයක් හරි අපිම උයාගෙන කනවා. අපි වැඩිපුර බඩු අරගෙන තිබුණ නිසා අපි ළඟ තාම උයන දේවල් තියෙනවා.

මෙහේ අලුත් අවුරුද්දට කොහොමත් මෙහේ වෙළඳ සංකීර්ණය වහනවා. ඒක නිසා ඒ ගත්ත කෑම තාම අපි ළඟ තියෙනවා. අපි එකතුවෙලා ඒවා උයාගෙන කනවා. අනිත් අයත් හැමෝම දවසකට එකක් හදාගෙන හරි කනවා. වෙළඳ සංකීර්ණය ඇරලා තියනවා. ඇයි ඒවට අපි යන්නේ නැත්තේ කියලා සමහරු අපෙන් අහනවා. අපි ඉන්න තැන ඉදලා ඒවා දුරයි. එකක් දෙකක් ඇරලා තියෙනවා. ඒත් ඒවට යන්න බයයි අපිට.

අපේ තානාපති කාර්යාලයත් අපි ගැන අහනව බලනවා. නමුත් මුල් දවස්වල එයාලත් අපොහොසත් වුණා අපිට දේවල් ලබා දෙන්න. මේ වෙද්දි අහනවා අපෙන් ඕනෙ දේවල් . ඉදිරියෙදි ඒව ලැබෙයි කියලා හිතනවා. එහෙම බැලුවම කන්න බොන්න හොයාගන්න බැරිවෙන එකක් නෑ.

කන්න බොන්න දෙනවනම් එහේටම වෙලා ඉඳපල්ලා කියන අයට කියන්නෙ කොරෝනා තවමත් සක්‍රියයි. නගරය පුරාම, රට පුරාම, ලෝකය පුරාම.

අපි උදේම නැගිට්ට ගමන් බලනවා අද කොහොමද තත්ත්වේ කියලා. රෝගීන් මැරෙන එක වැඩිවෙලා අඩු වීමක් කවදාවත් අපි දැක්කේ නැහැ. මේක පැතිරෙන වේගය දැනෙන්නෙ මෙහෙම ඉදිද්දි. හෙට ලෙඩා මම වෙයිද කියන එක හැම මොහොතකම් හිතෙනවා. එහෙම උනොත් ගෙදර මිනිස්සුන්ට මොනව කියන්නද? තාමත් ඇත්ත තත්වෙ ගෙවල් වල්ට කියන්නෑ. කොහොම කියන්නද? අපි හැම කෙනාගෙම පැත්ත බලන්න ඕනි.

හැමදාකම අපේ උෂ්ණත්වය පරීක්ෂා කරනවා. ඒ හැමවෙලේම ඒක දිහා බලන්නෙ බයෙන්. මේක වෙන්නැති මරණ බිය කියන්නේ. ඒ කියන්නේ තමන්ගෙ මිනිස්සු දාල යන්න බැරි දුක. කෑගහල ලෝකෙටම කිව්වත් මොකුත් කරගන්න බැරි උනාම දැනෙන හැඟීම මේක වෙන්නැති කියලා මට හිතෙනවා.

දවසින් දවස විඳවන්නේ මේ දේවල්. අපි සතෙක් හරි කූඩු කරගෙන ඉන්න ඇති කවදක හරි. අපි ඒක අත්විඳිනව දැන්. එකම තැනක එකම විදියට දවස් ගෙවෙද්දි අධ්‍යාපන වැඩකටවත් හිත යොදන්න බැහැ. ඒක මගෙ වරදක් වෙන්න පුළුවන්. මනස එක තැනක නැහැ.

ඉතින් මම හැමෝටම කියන්නෙ. මේ වෛරසයෙන් හැමෝම බේරෙන්න ඕනෑ. හැමකෙනෙක්ම. හැමෝම ආසයි ජීවත් වෙන්න. කවුරුත් කැමති නැහැ ඊළඟ රෝගියා තමන් වෙන්න. තමන්ගෙත් අනුන්ගෙත් සෞඛ්‍ය ගැන හිතලා මේ වෙලාවේ පුළුවන් විදියට හැමෝටම උදව් කරන්න ඕනෑ.

රට ඉඳන් ආවම සැකෙන් බයෙන් බලන මිනිස්සු, මුඛ ආවරණ දාගෙන පාරේ යද්දි ඒ මනුස්සයා දිහා අමුතුවට බලන මිනිසුන්, ඒ දේවල් ගැන දෙපාරක් හිතන්න. මට දැනුන දැනෙන විදියට ශ්‍රී ලාංකිය මිනිස්සු කියන්නේ එකිනෙකාට උදව් කරන ,බැඳීමක් ඇති ලෝකයේ ඇති එකම එකම මිනිස් කොට්ඨාසය. මෙහේ එහෙම නෑ.

අපි හැමෝම හරි විදියට හැමෝටම උදව් කරන්න පටන් ගත්ත දවසට කවුරුත් මැරෙනකල් බලන් ඉන්න ඕනි වෙන එකක නැහැ. කොරෝනට බෑ මනුස්සකමට උඩින් යන්න. එදාට තේරුම් ගනී ලෝක යුද්දෙට වඩා හරිම බලවත් දෙයක් ලෝකෙ මිනිස්සුන්ගෙ එකමුතුව කියලා.

අපි දවසක ලංකාවට එයි. එක්කො කවදාවත් නොඑයි. පිං තිබුණොත් සුන්දර හදවත් තියන මිනිස්සු එක්ක තවත් කාලයක් ඉන්න අපි එනවා.

මේක ලියන වෙලාවෙත් අපි හොඳින්. හැමෝම පරිස්සමෙන් ඉන්න. මොකද කොරෝනා හැම තත්පරේකම වැඩ.’

(කසුන් වික්‍රමගේ – වූහාන් සරසවි නේවාසිකාගාරයේ සිට)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button