ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSPOLITICS

නෙළුම් කුලුනේ පළමු දින ආදායම ලක්ෂ 21ක්

දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන මහජනතාව වෙත විවෘත කිරීමෙන් අනතුරුව පළමු දින තුළ පමණක් රුපියල් ලක්ෂ 21ක පමණ ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.

ප්‍රවේශපත් අලෙවියෙන් පමණක් නොව නෙළුම් කුලුනේ පිහිටි එක් එක් ආයතන සඳහා සේවා සැපයීමෙන් මේ ආදායම උපයා ගැනීමට සමත්ව තිබෙන අතර, ඊට අමතරව පෙරේදා (15) දිනයේදී පමණක් මෙය නැරඹීම සඳහා පුද්ගලයන් 2,612 දෙනකු පැමිණ තිබෙන බවද නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා ‘දිනමිණ‘ ට පැවසීය.

සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රි 10.00 දක්වා නරඹන්නන් වෙනුවෙන් නෙළුම් කුලුන විවෘතව තැබෙන අතර, එය මහජනතාවට විවෘත කළ දෙවැනි දිනය වූ ඊයේ (16) මුල් පැය තුනේදී පුද්ගලයන් 800 දෙනකු පමණ නැරඹීමට පැමිණ තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. දේශීය නරඹන්නන්ට පමණක් නොව විදෙස් සංචාරකයන් වෙනුවෙන්ද මෙය විවෘතව තැබෙන අතර, පෙරේදා දිනයේදී විදෙස් සංචාරකයන් 21 දෙනකු නෙළුම් කුලුන නැරඹීම සඳහා පැමිණ තිබේ.

වර්ග මීටර් 30,600ක් වූ වපසරියක ඉදි කර ඇති නෙළුම් කුලුනේ උස මීටර් 350කි. ප්‍රවේශ පත්‍රයක් රැගෙන පැමිණෙන අයකුට විනාඩි 30ක් 7 වැනි මහලේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර, එහි සිට සීගිරිය, ශ්‍රී පාදස්ථානය, නකල්ස් කඳුවැටිය ඇතුළු ස්ථාන රැසක් නැරඹිය හැක. නෙළුම් කුලුනේ දෙවැනි අදියර ඉදිරි මාස දෙක තුළත්, තුන්වැනි අදියර ලබන වසරේ මාර්තු මාසය වන විටත් විවෘත කිරීමට කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික සමාගම අපේක්ෂා කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button