ARTICLESEXCLUSIVEVIRAL NEWS

රටක් අන්දන පිරිමීඩ ජාවාරම ගැන රට කළඹන හෙළිදරව්ව..

රටක් අන්දන පිරමීඩ ජාවාරම..

“මම ජාත්‍යන්තර සමාගමක වැඩ කරනවා, මේ දවස් වල අපේ කම්පනි එකේ ඔන්ලයින් බිස්නස් වගේකට වේකන්සීස් තියෙනවා, පාර්ට් ටයිම් ගෙදර ඉදලම වර්ක් කරන්න තියෙන්නේ, ජොයින් වෙන්න කැමතිද?”

මෙවැනි පණිවිඩ මෑත කාලයේ මේ සමාජජාලා ඔස්සේම අනිවාර්යෙන්ම ඔබට ඕනෑ තරම් එන්නට ඇත. ඇතැම් විට ඒ පණිවිඩය එවන්නේ ඔබ හොදින් දන්නා හඳුනන මිතුරෙක්, ඥාතියෙක් හෝ මින්පෙර නොදන්නා පුද්ගලයෙකු වීමට හැක.

මෙවැනි පණිවිඩයක් නොපැමිණි පුද්ගලයන් සිටී නම් ඒ ඉතාම අල්ප වශයෙනි.

කුමක්ද මේ ඔන්ලයින් ව්‍යාපාරික අවස්තාව ?

ඔබ පෙරළා විමසන්නට ඇත. එවිට ඔවුන්ගේ පිළිතුර වන්නේ “මෙහෙම කියන්න බෑ, වැඩමුලුවක් තියෙනවා, ඒකෙදි සම්පූර්ණ විස්තරයම කියලා දෙනවා, සූම් වලින් තියෙන්නේ. ඔයත් ජොයින් වෙන්න” කියාය.

ඉන්පසුව “සූම්” මාර්ගත යෙදුම ඔස්සේ පැවැත්වෙන මෙම “ව්‍යාපාරික දැනුවත් කිරීමට” සහභාගී වන ඔබ ගෙන යන්නේ නවතම ලොවකටය.

මුදල් ඉපැයීමට රස්සා කර ප්‍රයෝජනයක් නොමැති බවත්, තමන්ගේම ව්‍යාපාර කිරීමත් අවදානම් බවත් මෙම අපූරු සූම් රැස්වීමේදි ඔවුන් ඔබට කියාදේ.

අවසානයේ ඔවුන්ගේ ව්‍යාපාරයට සම්බන්ධ වී ඔවුන් කළාක් මෙන් ඉතාම කෙටි කලකින් ධනවතෙකු වන ලෙසට ඔවුන් ඔබට ආරාධනා කරයි.

ධනවතෙකු වීමට ඔබට කිරීමට ඇත්තේ සරල දෙයකි.

රුපියල් ලක්ෂ තුනේ සිට රුපියල් 58,000 දහස දක්වා වන භාණ්ඩ පැකේජයක්/ හෝටල් පැකේජයක් හෝ වෙනත් යම් දෙයක් ඔවුන්ගෙන් මිලට ගෙන ඔවුන්ගේ ව්‍යාපාරයට ඇතුලත් වීමයි.

ඉන්පසුව තවත් සාමාජිකයන් දෙදෙනෙකු ඔවුන්ගේ ව්‍යාපාරයට සම්බන්ධ කිරීමයි. ඉන්පසුව ඔබ ඔස්සේ සම්බන්ධ වන පුද්ගලයන්ගේ මාර්ගයෙන් ඔබට කොමිස් ගෙවා ධනවතෙකු කරවන බව කියයි.

මේ දිනවල රටම රවටමින් සිදු කෙරෙන මහා පරිමාණ පිරමීඩ වංචාවේ යාන්ත්‍රණය මෙයයි.

………………………………………………………………………………………………………………………..

මෙවැනි ආකාරයේ පිරමීඩ මේ වන විට කිහිපයක්ම රටේ ක්‍රියාත්මක වෙයි.

ඉන් ප්‍රධාන පිරමීඩය Global Lifestyle Lanka (GLL) නම් සමාගමකින් සිදු කෙරෙන Qi Group / Qnet පිරමීඩයයි.

Fast 3 Cycle නම් හෝටල් පැකේජ විකුණන පිරමීඩයක්ද ඉතා සීග්‍රයෙන් තාරුණ්‍ය වෙලා ගනිමින් සිටියි.

මීට අමතරව “ක්‍රිප්ටො” වැනි නූතන තාරුණ්‍යයට සමීප සංකල්ප අවභාවිතා කරමින් ගොඩනැගූ පිරමීඩ ජාවාරම්ද පවතී..

………………………………………………………………………………………………………………………..

පිරමීඩයක් යනු කුමක්ද ?

පිරමීඩයක් යනු ව්‍යාපරයක මුදල් ඉපැයීමට නම් තවත් සාමාජිකයන් එක්කර බඳවා ගනිමින් ඔවුන්ගෙන් මුදල් ලබා ගන්නා යාන්ත්‍රණයක් සහිත ජාවාරමකි.

සාමාන්‍ය ව්‍යාපාරයක හෝ රැකියාවක මුදල් ඉපැයීමට ඔබට තවත් පුද්ගලයන් දෙදෙනෙකු, සිව්දෙනෙකු ව්‍යාපාරයට සම්බන්ධ කළ යුතු නැත.

පිරමීඩ ගොඩනැගෙන්නේ එම සංකල්පයෙනි. මෙම සංකල්පය “පිරමීඩ” ලෙසින් නම් කෙරෙන්නේද මෙලෙසට දෙකෙහි ගුණාකාර වලින් විශාල වෙමින් පිරමීඩයක් ලෙස ගොඩනැගෙන නිසාවෙනි.

පිරමීඩ යාන්ත්‍රණ ශ්‍රී ලංකාවේ තහනම්ය.

එනමුත් මෙම සියලූම පිරමීඩ ජාවාරම් නීතියේ හිඩැසකින් පැන යාමට භාවිතා කරනා අලුත් උපක්‍රමය යම්කිසි භාණ්ඩයක් අලෙවි කරමින් සිය පිරමීඩ ජාවාරමට සාමාජිකයන් එක්කර ගැනීමයි.

මොවුන්ගේ තර්කය මෙතැන සිදුවන්නේ භාණ්ඩ හා සේවා අලෙවියක් බවයි. එම නිසා තමන් මූල්‍යමය සමාගමක් ලෙස මහබැංකුවේ ලියාපදිංචි වීම අනවශ්‍ය බව ඔවුන් කියයි.

ඔවුන් සිය බිස්නස් මොඩලය හඳුන්වා ගන්නේ නෙට්වර්ක් මාර්කටිං / මල්ටි ලෙවෙල් මාර්කටිං ආදී නම් වලිනි.

තමන් සිදු කරන්නේ පිරමීඩ ජාවාරමක් බව ඔවුන් දැඩිව ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් මෙහිදී සිදුවන්නේ පීරමීඩ යාන්ත්‍රණයමය. එනම් ඔබට මෙම ව්‍යාපාර ඔස්සේ මුදල් ඉපැයීමට නම් තවත් අය මෙම ව්‍යාපාරයට සම්බන්ධ කළ යුතුමය.

පැරණි පිරමීඩ, අලුත් ස්වරූපයකින් පැමිණ තිබේ.
………………………………………………………………………………………………………………………..

නෙට්වර්ක් / මල්ටි ලෙවෙල් මාකටිං.

මෙම බොහෝ පිරමීඩ තමන්ගේ ව්‍යාපාරික මොඩලය හඳුන්වා ගන්නේ නෙට්වර්ක් / මල්ටි ලෙවෙල් මාකටිං ලෙසය.

මෙම සංකල්ප පිළිබඳ ජනතාවගේ නොඳැනුවත්කම, ජනතාව රැවටීමට ඔවුන් භාවිතා කරයි.

නෙට්වර්ක් මාකටිං / මල්ටි ලෙවෙල් මාකටිං යනු සිය නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයන්ට අලෙවි කර ගැනීමට සමාගම් යොදා ගන්නා එක් ව්‍යාපාරික උපක්‍රමයකි.

මෙහි සුවිශේෂි ලක්ෂණ බොහෝමයක් පවති.

• නෙට්වර්ක් / මල්ටි ලෙවෙල් මාකටිං තුල සමාගමම නිෂ්පාදනය කරනා සුවිශේෂි භාණ්ඩයක් හෝ සේවාවක් පවති.

එනම් සැම්සුංග් ජංගම දුරකථන සමාගම නෙට්වර්ක් / මල්ටි ලෙවෙල් මාකටිං ක්‍රමය ඇරඹූවා යැයි සිතන්න.

එසේ නම් ඔවුන් විකුණන්නේ සැම්සුංග් දුරකථනය. ඔවුන් වෙනත් සමාගමක් සැදූ සූර්ය පැනල විකිණීමට යන්නේ නැත.

• නෙට්වර්ක් / මල්ටි ලෙවෙල් මාකටිං තුල විකුණන භාණ්ඩය වෙළදපොළේ මිලට වඩා අඩුය.

මෙහිදී සමාගම සෘජුව පාරිභෝගිකයාට භාණ්ඩය විකිණීම නිසා සාමාන්‍ය වෙළඳපොළට වඩා අඩු මිලට භාණ්ඩය මිලට ගත හැකිය.

මෙය සමාගමට සහ පාරිභෝගිකයා යන දෙදෙනාටම ලාභදායි ක්‍රමවේදයකි.

• අවශ්‍ය නම් පමණක් විකුණුම් ජාලයට ඇතුල් විය හැකි අතර, අවශ්‍ය නම් සෘජු පාරිභෝගිකයෙක් ලෙස පමණක් කටයුතු කළ හැකිය.

නියම නෙට්වර්ක් / මල්ටි ලෙවෙල් මාකටිං ජාලයක් තුල ඔබ මිලට ගන්නේ නිශ්චිත භාණ්ඩය විනා ව්‍යාපාරික අවස්තාවක් නොවේ.

අවශ්‍ය නම් ඔබට භාණ්ඩය මිලට ගෙන පාරිභෝගිකයෙකු ලෙස ගණුදෙනුව අවසන් කළ හැක. එහිදි ඔබ තෘප්තිමත් පාරිභෝගිකයෙකි

අවශ්‍ය නම් ඔබ මිලට ගත් භාණ්ඩය තවත් අයෙකුට යම් ලාභයක් තබා ගෙන විකුණා කොමිස් මුදලක් ලැබිය හැකිය. එහිදී ඔබ අදාල මුල් සමාගමේ අලෙවි නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි.

• නෙට්වර්ක් / මල්ටි ලෙවෙල් මාකටිං ඔස්සේ විකුණන භාණ්ඩයට සන්නාමයක් තිබේ.

පෙරකීවා සේම අදාල සමාගම් වලින් සිය සන්නාමයට අයත් “බ්‍රැන්ඩඩ්” භාණ්ඩ මෙම ක්‍රමවේදය ඔස්සේ විකිණීම සිදු කරයි.

නියම නෙට්වර්ක්/ මල්ටි ලෙවෙල් මාකටිං සංකල්ප, පිරමීඩ ජාවාරමකින් වෙන් වන ප්‍රධාන සාධක මේවාය.

………………………………………………………………………………………………………………………..

ශ්‍රී ලංකාවේ පිරමීඩ වංචාව සහ නෙට්වර්ක් / මල්ටි ලෙවෙල් මාකටිං අතර වෙනස

මෙරට පිරමීඩ ජාවාරම්කරුවන් සිය ව්‍යාපාරික මොඩලය හඳුන්වන්නේ මල්ටි ලෙවෙල්/ නෙට්වර්ක් මාකටිං ලෙසය.

එනමුදු,

• ශ්‍රී ලංකාවේ මෙම පිරමීඩ ජාවාරම සිදු කරන Qnet / F3C වැනි සමාගම් වලට නිෂ්චිත භාණ්ඩයක් හෝ සේවාවක් නැත.

ඔවුන් නීතිමය හිස් තැන් වලින් ගැලවීමට පමණක් විවිධ භාණ්ඩ හා සේවා විකුණති.

මේවා අතර කිසිම ප්‍රමිතියක්, සන්නාමයක් නොමැති සූර්ය පැනල, විදුලි පංකා ආදිය වේ.

• මෙම භාණ්ඩ වෙළදපොළේ මිල ගණන් වලට වඩා මිල ඉතා අධිකය.

සාමාන්‍ය නෙට්වර්ක් / මල්ටි ලෙවෙල් ජාල වලදි භාණ්ඩය සාමාන්‍ය වෙළදපොළේ මිලට වඩා මිල අඩුය.

නමුත් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ජාවාරමේ විකුණන භාණ්ඩ මිල ඉතා වැඩිය.

උදාහරණයක් ලෙස සාමාන්‍ය වෙළදපොළේ රුපියල් 10,000 – 15,000ක් අතර වන සූර්ය පැනලයක් ඔවුන් විකුණන්නේ 58,000කටය.

Booking.com වෙබ් අඩවියේ රුපියක් 5000ක හෝටල් පැකේජය මෙම පිරමීඩ ක්‍රමයේ රුපියල් 30,000ක් පමණ වේ.

පිරමීඩයේ ඉහළ සිටිනා පුද්ගලයන්ට බෙදී යන්නේ මේ අති විශාල ලාභයයි.

එහිදී ඉහළම සිටිනා පුද්ගලයන්ට ලාභයෙන් 80%ක් පමණ බෙදෙන අතර පහළ ස්ථරයට හිමි වන්නේ 20%ක සොච්චමකි.

• මෙහිදී විකුණන්නේ ව්‍යාපාරික අවස්තාව විනා භාණ්ඩය නොවේ.

නෙට්වර්ක් මාකටිං / මල්ටි ලෙවෙල් මාකටිං තුලදි විකුණන්නේ නිශ්චිත භාණ්ඩයකි.

එනමුත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමේ විකුණන්නේ භාණ්ඩය නොවේ, පිරමීඩය තුලට ඇතුලු වීමට අවස්තාවයි.

සූර්ය පැනලය අවශ්‍ය නිසා කිසිවෙකුත් මේ සමාගම් ඔස්සේ වැඩි මිලට මේ සූර්ය පැනල මිලට නොගනී.

ඔවුන් මේ ජාවාරමට ආරාධනා කරන්නේම “ජාත්‍යන්තර ව්‍යාපාරික සමාගමක ව්‍යාපාර අවස්තාවක් තියෙනවා, ජීවිතේම ගොඩ යන්න පුලුවන්” කියා විනා “හොද සෝලා පැනල් එකක් තියෙනවා, ගෙදරටම එළිය ගන්න පුලුවන්” කියා නොවේය.

විශාල වශයෙන් මුදල් ඉපැයිය හැකි යැයි මෙම ජාවාරම්කරුවන් පෙන්වන හීන නිසා අහිංසකයන් වැඩි මිලක් ගෙවා, අනවශ්‍ය බඩුවක් ලබා ගෙන මෙම ජාවාරමට හසු වෙයි.

මේ මල්ටි ලෙවෙල්/ නෙට්වර්ක් මාකටිං සහ මෙරට ක්‍රියාත්මක පිරමීඩ ක්‍රමයන්ගේ ප්‍රධාන වෙනස්කම් ය.

………………………………………………………………………………………………………………………..

යාන්ත්‍රණය..

දිනපතා සූම් ඔස්සේ පැවැත්වෙන එවැනි සම්මන්ත්‍රණයකට සහභාගී වී මුදල් ගෙවා ඔබ මෙම පිරමීඩයට එක්වූවා යැයි සිතන්න.

ඉන්පසුව ඔබව පුහුණු කිරීමට තවත් මෙවැනිම සූම් සම්මන්ත්‍රණ පැවැත්වේ.

මෙහිදී ඔබ පුහුණු කරන්නේ ඔබගේ හිතමිතුරන්, ඥාතීන් මෙම පිරමීඩයට පටලවා ගන්නා ආකාරයයි.

ප්‍රථමයෙන් ඔවුන් ඔබට ඔබගේ සමීපතමයන් 20කගේ නම් පොතක ලියනා ලෙසට උපදෙස් දේ.

ඉන්පසුව ඔවුන්ට පෙර පරිදිම කතා කරනා අයුරු ඔබට පුහුණු කරයි.

එහිදි කිව යුතු දේ ඔබට කටපාඩම් කරවයි.

ඔබත් මින්පෙර රැවටී ඇත්තේ එවැනි පුහුණුකළ පුද්ගලයෙකු කටපාඩමින් කියූ පණිවිඩයකට බව වැටහෙන්නේ දැන්ය.

නමුත් ඔබ විසින් මෙම ජාවාරමට පූජා කළ මුදල හෝ ඉපයීම උදෙසා, ඔබ ඔබගේ සමීපතමයන්, මිතුරන් රැවටීම එකම විකල්පය කරගනියි.

මේ අයුරින් පිරමීඩය විශාල වෙමින් ගලා යයි..

………………………………………………………………………………………………………………………..

ගැලවිජ්ජාව..

ඉහත කී පුහුණු වලදී පිරමීඩයේ සාමාජිකයන්ට වෙනත් පුද්ගලයන්ට ආරාධනා කරන අයුරු පවා කටපාඩමින් උගන්වයි. ඒ සඳහා ඔවුන්ට පොත් පවා පවතියි.

එහිදී

“මට මේ බිස්නස් එක ගැන කිව්වේ මම දන්න මෙඩිකල් කොලේජ් ඉන්න මල්ලි කෙනෙක්” වැනි පාඨ පවා කටපාඩමීන් උගන්වයි.

මෙහිදී ඇතැමුන් අසනා “මෙය පීරමීඩයක්ද?” ගැටලුවට පවා පිළිතුරු දීමට උගන්වයි.

ඔබ ඔවුන්ගෙන් මෙය පිරමීඩයක්දැයි අසා බලන්න.

එවිට ඔවුන්ගේ නිශ්චිත පිළිතුර “පිරමීඩයක් කියන්නේ මොකක්ද?” යන්නය. බොහො දෙනෙක් සතුව එයට නිශ්චිත පිළිතුරක් නොමැත.

බොහො දෙනෙකු අතර පවතින නොඅවබෝධය සිය ගැලවිජ්ජාව උදෙසා මෙම ජාවාරම්කරුවන් භාවිතා කරයි.

මෙය ඔවුන්ට කටපාඩමින් උගන්වන ප්‍රති ප්‍රශ්නයකි.

මේ ජාවාරම එතරම් සැලසුම් සහගතව සහ සූක්ෂමව ගලා යයි.

ඔවුන්ට සිය පිරමීඩයට එක්වන පුද්ගලයන්ට කතා කිරීමට, නිශ්චිත පිළිතුරු ලබා දීමට පුහුණු කිරීමට වැඩ මුලු මෙන්ම වංචා සහගත පොත් පවා පවතියි.

විශ්ව විද්‍යාල නවකවදයේදී සිදු කෙරෙන ආකාරයේ කටපාඩම් කරවීමක් මෙහිදි සිදුකරයි.

වරක් අන්තර්ජාලයට නිකුත් වූ හඬපටයකට අනුව සිය අනුගාමිකයන්ට “මෙම ව්‍යාපාරය පිරමීඩයක්ද” යන්න ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන අයුරු අනිල් බණ්ඩාර පුහුණු කරයි.

එහිදි ඔහු පවසන්නේ යමෙකු එලෙසට ඇසූ විට “වාවු, මචන් හොද ප්‍රශ්නයක්, මටත් ඔය ප්‍රශ්නේ ඔහොමම තිබුනා” යනුවෙන් පිළිතුරු ලබා දෙන ලෙසයි.

එතරම්ම මෙම වංචාව සූක්ෂමය.

මෙම සූම් සම්මන්ත්‍රණ මෙහෙයවීමට පැමිණෙන්නේ ජැන්ඩියට හැඳ පැළඳ ගත් තරුණයන්ය.

ඔවුන් ඕනෑවටත් වඩා ස්වර්ණාභරණ පැළඳ සිටියි.

ඔවුන් සිය මාසික ආදායම මෙපමණය කියා, පැමිණ සිටින්නන්ට ව්‍යාජ සිහින මවයි.

කෙසේ වෙතත් සත්‍ය එය නොවේ. පිරමීඩයේ ඉහළම සිටින දෙතුන් දෙනා හැර අනෙකුත් සියලූම දෙනා සිදු කරන්නේ සිය මුදල් අහිමි කර ගැනීම පමණි. ඔවුන් මේ කියන්නේත් ඔවුන්ට කටපාඩම් කෙරවූ පාඨයක් පමණි.

මේ ජාවාරම්කරුවන්ගේ උත්සව වලට ඔවුන් පැමිණෙන වාහන පවා කුලී පදනම මත ලබා ගත් වාහන බව මින්පෙර හෙළිවුණි.

දැන් දැන් මේ සූම් සම්මන්ත්‍රණ වල අසන්නන්ට ප්‍රශ්න ඇසීමට හෝ මෙම ජාවාරම්කරුවන් ඉඩ නොදේ.

මෙම ජාවාරම්කරුවන් සිය ජාවාරමට නීතිමය ස්වරූපයක් ගැනීමට භාවිතා කරනා තවත් උපක්‍රමයක් තිබේ.

එනම් ඔවුන් විවිධ අවස්තාවල රජයේ අමාත්‍යවරුන්, උසස් පොලිස් නිළධාරීන් සමග ගත් ඡායාරූප සිය සමාජ ජාලා ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධ කිරීමයි.

තමන් සමග ඡායාරූප ගත් පුද්ගලයන් කවුරුන්ද යන වග මෙම අමාත්‍යවරුන් හෝ පොලිස් නිළධාරීන්ට අවබෝධයක් නැත.

නමුත් ඔවුන් මෙම ඡායාරූප පෙන්වන්නේ තමන් රටේ ඉහළම පුද්ගලයන් සමග සම්බන්ධකම් පවත්වන බව ජනතාවට ඒත්තු ගැන්වීමටය.

………………………………………………………………………………………………………………………..

ජාවාරම්කරුවන්

Qnet

වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පිරමීඩ ජාවාරම් අතර ප්‍රබලම පිරමීඩය මැලේසියාවේ සිට ක්‍රියාත්මක වන Qi Group හී Qnet පිරමීඩයයි.

Global Lifestyle Lanka නම් මහරගම පිහිටි සමාගමක් මෙම පිරමීඩයේ දේශීය නියෝජිතයාය.

ඔවුන් සූර්ය පැනල, විදුලි පංකා ආදිය විකුණමින් සිය ව්‍යාපාරය පිරමීඩ නොව මල්ටි ලෙවෙල් මාකටිං බව කියමින් ජයටම කරගෙන යයි.

හොදම දේ එය නොවේ. Qnet පිරමීඩයේ හිමිකරු වන්නේ දෙමළ ඩයස්පෝරාවේ අක්මුල් සහිත, ‘විජේ ඊස්වරන්’ නැමැති මැලේසියානු පුරවැසිභාවය සහිත දෙමළ ජාතිකයෙකි.

ඔහු විසින් මින්පෙර ‘Gold Quest’ නම් පිරමීඩයක් දියත් කළ අතර 2005 වසරේදී ශ්‍රී ලංකාව විසින් එම පිරමීඩය තහනම් කර “විජේ ඊස්වරන්” මෙරටට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස ජාත්‍යන්තර පොලීසියේ (Interpol) ලයිස්තු ගත කරන ලදි.

‘Qnet’ යනු එම විජේ ඊස්වරන්ගේම අලුත් පිරමීඩයයි.

ඔහුගේ “Gold Quest” පිරමීඩය එවක රජය තහනම් කර, ඔහු මෙරටට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කළේ එම පිරමීඩය මෙරට මුදල් ඩයස්පෝරාවට අදිනා ජාවාරමක් බව හෙළිවූ පසුවය.

එලෙසට රටට අවශ්‍ය අපරාධකරුවෙකුගේ, තහනම් කළ ව්‍යාපාරයක්, අලුත් නමකින් මෙරටට යළි පැමිණ මෙරට මුදල් මැලේසියාවට යළිත් අදිමින් සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලීසිය නිහඬය.

ශ්‍රී ලංකා මහ බැංකුව පුවත්පත් වල දැන්වීම් පළකරමින් මෙම ජාවාරම් වලට සම්බන්ධ නොවන ලෙසට අර්ථ රහිත දැනුවත් කිරීම් කරමින් පමණක් ඇග බේරාගෙන් සිටියි.

වසර දහයකට පමණ පසුව යළිත් විජේ ඊස්වරන් ශ්‍රී ලංකාවේ මුදල් මැලේසියාවට යළිත් ඇදීම අරඹා තිබේ.

මෙම Global Lifestyle Lanka, Qnet පිරමීඩය මෙරට කොතරම් ව්‍යාප්ත වීද කිවහොත් දිනකට සූම් ඔස්සේ මීටිංග්ස් සිය ගණනක් මේ පිරමීඩයට සාමාජිකයන් බඳවා ගැනීමට පවත්වයි.

මෙම පිරමීඩයේ මෙරට ඉහළම සිටිනා පුද්ගලයාට විජේ ඊස්වරන් ගෙවන වැටුප රුපියල් මිලියන 150ක් පමණ වේ.

මෙය කොතරම් දුරට ව්‍යාප්ත වී, ශ්‍රී ලාංකිකයන්ගේ කොතරම් මුදලක් ගිල ඇත්දැයි ඔබම සිතන්න.

Fast 3 Cycle

අනිල් බණ්ඩාර නම් පිරමීඩ සම්බන්ධ ඉතිහාසයක් ඇති කුප්‍රකට ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඇරඹූ පිරමීඩ ව්‍යාපාරයකි.

මෙහිදී මෙම පිරමීඩයේ සාමාජිකත්වය ලබා ගැනීමට විකුණන්නේ හෝටල් පැකේජය.

මෙම පිරමීඩයේත් සාමාජිකයන්ට ලබා දිය යුතු පිළිතුරු ආදිය අනිල් බණ්ඩාර විසින්ම කට පාඩම් කරවා පුහුණු කරවයි.

එවැනි අවස්තාවල හඩපට දැන් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

මීට අමතරව අනිල් බණ්ඩාර මෙම පිරමීඩයට නොයෙකුත් ජනප්‍රිය පුද්ගලයන් සහභාගී කරවාගෙන සිටියි. ඒ අතර නළි නිළියන්, ගායක ගායිකාවන්ද වෙයි. එහි අරමුණ මෙම පිරමීඩයට තව තවත් සාමාජිකයන් ආකර්ෂණය කර ගැනීමය.

………………………………………………………………………………………………………………………..

බොරු තර්ක..

මෙම සෑම පිරමීඩයකම සූම් සම්මන්ත්‍රණ වලදි ඉදිරිපත් කරන්නේ එකම ඉදිරිපත් කිරීමකි.

එහිදී ලොව ප්‍රමුඛ පෙළේ ධනවතුන් මේ පිරමීඩාකාරයේ ව්‍යාපාර අගය කළා යැයි විවිධ ප්‍රකාශ හා ග්‍රන්ථ උපුටා දක්වමින් මේ සම්මන්ත්‍රණ වලදී ප්‍රකාශ කරයි.

ලොව ප්‍රකට ව්‍යවසායක බිල් ගේට්ස්, ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රකට ග්‍රන්ථ කතුවරයෙකු වන රොබර්ට් ටී කියෝසාකි ආදීන් නොකී දේත් මොවුන් මේ සම්මන්ත්‍රණ වල නිර්මාණය කර ඉදිරිපත් කරයි.

ඒ බොහෝමයක් කරුණු අසත්‍ය වන අතර සුපුරුදු පරිදි මෙම වංචාවට නීතිගරුක ස්වභාවයක් පෙන්වා පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීමට ඔවුන් එසේ කරති.

………………………………………………………………………………………………………………………..

මේ මෙරට වසංගතයක් සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමේ සුලමුලය.

මේ පිරමීඩ වංචාකරුවන්ට නිදහසේ සිය වංචාව තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව හා ශ්‍රී ලංකා පොලීසිය මේ පිරමීඩ වංචා උදෙසා ගෙනයන නිද්‍රාශීලි ක්‍රියාපිළිවෙත නිසාවෙනි.

එවැනි පසුබිමක දිනපතා මෙරට දහස් ගණනක් අහිංසකයන් බොරු හීන පසුපස එළවා මුදල් අහිමි කරගනිමින් සිටියි.

මෙරට මුදල් විදේශයන්ට ගලා යෑම නැවතීමට මෙරට බලධාරීන්ට අවංක අභිලාෂයක් ඇත්නම් මෙම පිරමීඩ වංචා කෙරෙහි නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරවීමට වහාම කටයුතු කළ යුතුය.

වැදගත්

මින්පෙර Qnet හි Gold Quest පිරමීඩය ශ්‍රී ලංකාවේ තහනම් කළ පුවත
Qnet හිමිකරු විජේ ඊස්වරන් මෙරටට අවශ්‍ය අපරාධකරුවෙකු බවත් මෙහි දැක්වේ.
https://web.archive.org/web/20111129013245/http://www.muthamil.com/2008/may/srilanka_goldquest.shtml

Gold Quest තහනම් කළ පුවත BBC වාර්තා කර තිබු අයුරු
http://news.bbc.co.uk/2/hi/business/3641100.stm

මහබැංකු වාරණය අභිබවා පිරමීඩ වංචා මෙරට ගිලගනිමින් සිටිනා හැටි – සන්ඩේ ටයිම්ස් පුවත
https://www.sundaytimes.lk/101017/News/nws_10.html

සූම් ඔස්සේ පැවැති Qnet පිරමීඩයේ ව්‍යාපාරික සම්මන්ත්‍රණයක්
https://youtu.be/WXTrZAx6o0Q

සාර්ථක පුද්ගලයන් සේ පෙනී සිටිමින් Qnet සමාජිකයන් මෝල ශෝධනකරණය සිදු කරන අයුරු
https://youtu.be/wugAnMhorH8

ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් පිරමීඩය පිළිබඳ පළවූ පුවත්
https://srilankamirror.com/news/2936-fcid-probes-global-lifestyle-over-pyramid-like-scheme?

https://www.dailymirror.lk/116071/Beware-Don-t-invest-hard-earned-money-on-some-broke-pyramid-scheme?

https://www.sundaytimes.lk/171224/business-times/three-pyramid-type-businesses-under-probe-274275.html?

Fast 3 Cycle පිරමීඩය පිළිබඳ නෙත් Fm බැලුම්ගල සිදු කළ හෙළිදරව්ව
https://youtu.be/117wapJw32M

අනිල් බණ්ඩාර සිය පිරමීඩ ගෝලයන් පුහුණු කරන අයුරු දැක්වෙන නිකුත් වූ හඬපට
https://youtu.be/kB4L6-ggLjY

පිරමීඩ වංචාවක සහ මල්ටි ලෙවෙල් මාර්කටිං සංකල්පයේ වෙනස
https://www.thebalancesmb.com/is-it-multilevel-marketing-or-a-pyramid-scheme-2947159

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button