ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSSOCIAL MEDIA PICKS

සියළුම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමන්නැයි ඉල්ලීම්

සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමන ලෙස ආනයනකරුවන් විසින් ඉල්ලීම් කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මේ අතර කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 350 කින් ඉහළ දමන ලෙසයි.

මෙරට මාසික කිරිපිටි පරිභෝජනය ටොන් 7,500 ත් 8,000 ත් අතර ප්‍රමාණයක පවතින අතර, ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම හේතුවෙන් කිරිපිටි ආනයනය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව ඔවුන් අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

කිරිපිටි තොඟ ප්‍රමාණවත් වන්නේ තවත් සති 4 ත් 6 ත් අතර කාලයකට පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 350 කින්ද, ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140 කින්ද ඉහළ දමන ලෙස කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා තිබෙනවා.

කිරිපිටි කිලෝවක පැකට්ටුවක් මේ වනවිට රුපියල් 945 ක මිලකට අලෙවි වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල වන්නේ රුපියල් 380ක්.

මේ අතර වෙළඳපලේ එළවළු මිලද මේ වනවිට සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ පෑලියගොඩ මැනිං වෙළඳපොලේ අද එළවළු රැසක කිලෝග්‍රෑමයක තොග මිල පැවතුණේ රුපියල් 200 ත් 250 ත් අතර මිලකටයි.

වෙළඳපොලේ සහල් මිල ගණන්ද මේ වනවිට සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගියදා ගෑස් සමාගම් ද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් පමණ ඉහළ දමන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබුණා.

මෙලෙස මිල වැඩි කිරීමේ යෝජනා සම්බන්ධයෙන් අද වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

ඒ, නිරෝධායනය වන පවුල් සඳහා කොළඹ මහ නගර සභාවේ ප්‍රතිපාදන මත සකස් කරන බඩු මලු පිළිබඳ සොයාබැලීමට ඔරුගොඩවත්ත සතොස ගබඩා සංකීර්ණය වෙත පැමිණි අවස්ථාවේයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button