BREAKING NEWSOFF ROADPOLITICSSMART UPDATE

සජිත්ගේ ආගමනයෙන් කලකිරුණු රවී කරුණානායක පොහොට්ටුවට ?

එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක අමාත්‍යවරයා ලබා ගැනීමට නියමිත දේශපාලන තීන්දුවක් පිළිබඳව Lanka Mag වෙත වාර්තා වෙනවා.

එළඹෙන ජනපතිවරණයට එජාපයේ අපේක්ෂකයා ලෙසට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉදිරිපත් නොකළ යුතු බවට දැඩි අරගලයක නිරත වූ රවී කරුණානායක අමාත්‍යවරයා, එජාපයේ ජනපති අපේක්ෂකයා ලෙසට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පත් කිරීමෙන් පසු පක්ෂය තුල හුදෙකලා වී සිටින බවත් වාර්තා වේ.

ඒ මින්පෙර දැඩි සජිත් විරෝධි අදහස් දැක්වූ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක වැනි අමාත්‍යවරුන්ද පසුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහය පළ කරමින් එක්වීම හේතුවෙනි.

පසුගිය අරගල සමයේදි එජාපය තුල ක්‍රමයෙන් සජිත් පාර්ශවය බලවත් වූ අතර විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා රැස් වූ කැබිනට් රැස්වීමේදි සජිත් පාර්ශවය දැඩි ලෙස බලවත් වී ගැටුම් ඇතිකළ අතර එහිදී සජිත් ප්‍රේමදාස, හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, මලීක් සමරවික්‍රම, කබීර් හෂීම් වැනි අයගේ දැඩි විරෝධය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට පියවරක් පසුපසට ගොස් එම යෝජනාව හකුලා ගැනීමට සිදු වුනා.

ඒ සමගම රනිල් පාර්ශවයෙන් ජනපති අපේක්ෂකත්වයට ඇස ලාගෙන සිටි කථානායක කරූ ජයසූරියද සිය පාර්ශවය දුර්වල බව අවබෝධ කරගනිමින් තමන් අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළා.

එහිදී මුස්ලිම් කොංග්‍රස් නායක රාවූෆ් හකීම්ගේ සහයද සජිත් පාර්ශවයට හිමි වීම තුල සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා ලෙසට නම් කිරීමට පක්ෂය තුල දැඩි ලෙස දුර්වල වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සිදු වුනා.

ඒත් සමගම මෙතෙක් සජිත් විරෝධි ප්‍රතිපත්තියක් අනුගමනය කළ රාජිත, පාඨලී වැන්නන්ද සිය දේශපාලන පැවැත්ම වෙනුවෙන් උපක්‍රමශීලිව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග එක්වූ අතර ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළියෙල කිරීමද භාර වූයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රමුඛ කමිටුවකටයි.

එලෙස සියලූම දෙනා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග එක්වූ විට පක්ෂය තුල හුදකලා වූ අමාත්‍ය රවී කරුණානායක ඉදිරි ජනපතිවරණය ඉලක්ක කරගෙන ස්වාධීන වීමට හෝ පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහය ලබා දීමට ඉඩ පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. පසුගිය දිනෙක කොළඹ හෝටලයකදී අමාත්‍ය රවී කරුණානායක සහ පොදුජන පෙරමුණේ නියෝජිතයෙකු අතර සාකච්ඡාවක් පැවැත්ව තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් දූෂණ චෝදනා බොහෝ ඇති රවී කරුණානායක පක්ෂයට එක් කර නොගන්නා ලෙසට පොදුජන පෙරමුණ තුල දැඩි විරෝධයක් ඇතිව තිබෙනා අතර රවී කරුණානායකගේ සහය ලබා ගැනීම එම පක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අනුව බොහෝ විට ඉදිරි ජනපතිවරණය උදෙසා අමාත්‍ය රවී කරුණානායක ස්වාධීන වීමේ ඉඩක් පවතින බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button