BREAKING NEWSEXCLUSIVE

රන්බිම ඔප්පු ප්‍රදානය…

රට පාලනයේ දී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය මහතා පවසනවා.

එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකර ලෙසයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ අද (26) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මේ වසරේ නිරවුල් ඔප්පු ලක්ෂයක් බෙදාදීමට සැලසුම් කර ඇති අතර පළමු අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35,000ක් මහවැලි කලාප 10ක ගොවි ජනතාවට ප්‍රදානය කෙරෙනවා.

ලබන වසර අවසන් වීමට පෙර මහවැලි ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාවගේ සියලුම ඉඩම් ඔප්පු බෙදා අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලැබීමෙන් පවුලේ සාමාජිකයන්ට උරුමය පැවරීම, සුරැකුමක් ලෙස මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු අවස්ථා රැසක් හිමිකරුවන්ට උදාවනවා.

රන්බිම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30දෙනෙකු සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතින් අද (26) දිනයේ දී ඔප්පු ප්‍රදානය කෙරිණ.

විදේශ විනිමය නොමැති වීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවක් බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියා වලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට මූලික හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පෙර රජයන් ගත් ණය පොළී සමඟ ගෙවීමට සිදු වූ බවත්, මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදුවූවක් නොවන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

පවතින අභියෝග සඳහා මුහුණ දීමට විපක්ෂයත්, ජනතාවත්, රජයත් එක්ව වැඩකළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කඩාකප්පල්කාරී වැඩ වර්ජන, බොරු ප්‍රචාර ගෙන යාම වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව පැවසුවා.

මේ අතර වසර 20කට වඩා භුක්ති විඳි ඉඩමක නීත්‍යානුකූල හිමිකමක් නැතිව සිටි මහවැලි ජනතාව ඒ හිමිකම ලැබීමෙන් ලබන සතුට රජයටත් දැනෙන බව එම අවස්ථාවට එක්ව සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.

රසායනික පොහොර ගෙන්වීම සීමා කිරීමත් සමඟ විප්ලවවාදීන් යැයි කියාගන්නා පක්ෂ ගොවි ජනතාව පාරට බැස්සූ බවත් වගා කළ කුඹුරුවලට ගිනි තබමින් භෝග විනාශ කරමින් කළ උද්ඝෝෂණ ගොවියාට ආදරයෙන් කළ ඒවා නොව දේශපාලන වාසි ගැනීමට කළ ඒවා බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

හිමිකම් ඔප්පු ලබාදීමෙන් පමණක් මහවැලි ගොවි ජනතාවගේ සියලු ගැටලු විසඳෙන්නේ නොමැති බවත් ජාතික අවශ්‍යතාවය දෙස බලා සෑම බිම් අඟලක්ම වගා කිරීමට කටයුතු කිරීමේ යුතුකම ද ගොවි ජනතාව සතු බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසා සිටියා.

මහවැලි කලාපයේ තුන්වැනි පරම්පරාව ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වගකීම වෙනුවෙන් රජය පෙනී සිටින බව ද ඔහු එහිදී කියා සිටියා.

මේ අතර මහවැලි කලාපවල ගොවීන්ගේ ඉඩම් පමණක් නොව ජීවිත අහිමි වීමට ගිය යුගය වෙනස් කළේ රාජපක්ෂවරුන් බවත් වැව්, අමුණු සශ්‍රීක කරමින් මහවැලියට ජීවය දීමට කන්න දෙක පමණක් නොව තුන්වෙනි කන්නයක් සඳහා අතිරේක භෝග වගාවට පහසුකම් ද සැලසීමට රජය කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසුවා

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button