රාජිතගේ සුදු වෑන් මාධ්‍යය හමුවට ආ නළුවන් දෙදෙනා ලක්ෂ 46ක කොල්ලයකට අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ ආන්දෝලනාත්මක සුදු වෑන් ප්රවෘත්ති සාකච්ඡාවට සම්බන්ධ වූ අපරාධ කරුවන් දෙදෙනා නැවතත් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ
ඒ මීට දින කිහිපයකට පෙර ගම්පහ ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයකට කඩා වැදී රුපියල් හතළිස් හය ලක්ෂයක මුදල් සහ දේපළ කොල්ල කෑ සිදුවීමටය.
මෙම කොල්ල කෑම මෙහෙයවා ඇත්තේ සුදු වෑන් ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගි කරගෙන සිටි අපරාධ කරුවන් දෙදෙනා විසින් බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙම කොල්ලකෑම සඳහා යොදාගත් ටී – 5 6 අවියක් සහ ව්‍යාජ අවි කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
කොල්ල කන ලද රුපියල් හතළිස් හය ලක්ෂයෙන් රුපියල් හත් ලක්ෂය බැගින් මුදල් සුදු වෑන් ප්රවෘත්ති සාකච්ඡාවට පැමිණ සිටි අපරාධකරුවන් දෙදෙනා විසින් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
මීට දින කිහිපයකට පෙර රාත්‍රියේ ගම්පහ කෙසෙල්බද්දර ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයකට දස දෙනකුගෙන් සමන්විත පිරිසක් පැමිණ ඇත්තේ ප්‍රතිකාර ලබාගැනීමට යැයි කියමින්ය.
පසුව මෙම පිරිස අවි පෙන්වා ආයුර්වේද මධ්‍යස්ථානයේ හිමිකරුවන්ට තර්ජනය කර එහි තිබූ රුපියල් විසිපන් ලක්ෂයක මුදලක් සහ විසි එක් ලක්ෂයක් වටිනා රන් ආභරණ කොල්ල කාගෙන පලාගොස් තිබිණි.
මෙම ආයුර්වේද මධ්‍යස්ථානයේ හිමිකරුවන් විහාරස්ථානයක ඉදිකිරීම් සඳහා පූජා කිරීමට සූදානම් කරගෙන සිටි රුපියල් විසිපන් ලක්ෂයක මුදල් මෙම පිරිස කොල්ලකාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.
පසුව මෙම කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් දස දෙනාගෙන් හත්දෙනෙක් අත්අඩංගුවට ගත් අතර සෙසු සැකකරුවන් සොයා විමර්ශන පවත්වාගෙන යයි.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා විසින් පසුගිය මැතිවරණ සමයේදී සංවිධානය කළ බව කියන සුදු වෑන් ප්රවෘත්ති සාකච්ඡාවට මෙම අපරාධකරුවන් ගෙන්වා මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රචාරයක් කළ බවට චෝදනා එල්ල වී ඇත.
මෙම අපරාධකරුවන් දෙදෙනාට මීට පෙරද රට පුරා මහා පරිමාණ කොල්ල කෑම් රැසක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත.
ඔවුන් සුදු වෑන් ප්රවෘත්ති සාකච්ඡාවට ගෙන්වා ඇත්තේ රුපියල් දස ලක්ෂය බැගින් මුදල් සහ නඩු වලින් නිදහස් කරන බවට ලබා දුන් පොරොන්දු වලින් බව පසුව හෙළිවිය.