පොලිස් වරෙන්තු ලැබූ රාජිත සැඟවෙයි – “දුටු තැන අල්ලන්න” පොලිසියෙන් නියෝග

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර පැය 24 කට වැඩි කාලයක් ගතව ඇතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා සිටින ස්ථානයක් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැති බව වාර්තා වනවා.
ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය ඊයේ පස්වරුවේ වරෙන්තු නිකුත් කළා.
ඒ, දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සහ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුවයි.
කෙසේ වෙතත්, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඊයේ දින අත්අඩංගුවට ගැනීම සිදුවූයේ නැහැ.
ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමත් සමඟ ඊයේ දිනයේ මෙන්ම අදත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවස වෙත විවිධ පිරිස් පැමිණෙනු දක්නට ලැබුණා.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද අද පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ නිවස වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එසේම, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ බේරුවල – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසද අද පස්වරුවේ විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.