ARTICLESNEWSPAPER COLUMNS

කිවුල් වතුර බොන මිනිසුන්ට හෘදයාබාධ වැළදීම අඩු බව හෙළිවේ

කිවුල් වතුර පානය කරන පුද්ගලයන්ට හෘදයාබාධ වැළදීම අඩු බව විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළිදරව් කර ගැනීමට මෙරට විද්‍යාඥයෙකු සමත් වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති සහ භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් මෙම සොයාගැනීම සිදු කර තිබේ.

ඒ පිළිබඳ ඉරිදා පුවත්පතක් සමග ඒ මහතා සිදුකළ සාක්ච්ඡාවක් පහතින්,

ඔහුද රන් ආකරයක් සේ රටට වටින මහාචාර්යවරයෙකි. සේරුවාවිල රත්තරන් නිධිය සොයාගැනීමට පෙර ඔහු විසින් සොයාගත් ඛනිජ සම්පත් බොහෝය. එමෙන්ම වියළි කලාපීය මිනිසුන්ට හෘදයාබාධ වැළඳීමේ ප‍්‍රවණතාවය අඩුවීමට හේතු සාධක පරීක්‍ෂණ මට්ටමින් ඔප්පුකොට විශ්ව කීර්තියට පත් වූ විද්‍යාඥයෙකි.

එමෙන්ම මෙරට ප‍්‍රථම පරිසර විද්‍යාඥයා ද ඔහුය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් මෙන්ම උපකුලපති ලෙස වසර හතළිහකට වැඩි කාලයක් සේවය කළ මහාචාර්ය අතුල සේනාරත්නයන් එම විශ්වවිද්‍යාලයට කර ඇති සේවය ද අති විශාලය. මෙරට විශ්වවිද්‍යාල අතර පේරාදෙණිය සරසවිය ඉහළටම ඔසවා තැබීමට සුවිශේෂී මෙහෙවරක නිරත වී සිටි මහාචාර්ය අතුල සේනාරත්නයන් වසර තුනක් වැනි කෙටි සේවා කාලයකින් උපකුලපති ධුරයෙන් විශ‍්‍රාම ගත්තේය.

මේ වන විට සැඳෑසුවයෙන් තම රාජකාරි කටයුතු කරගෙන යන මහාචාර්ය සේනාරත්නයන් සමඟ සුහද කතාබහක නිරතවීමට පසුගිය දිනක අපට අවස්ථාව උදා විය.

පිනිවැටෙන සුන්දර උදෑසනක පේරාදෙණිය සරසවි බිමෙහි පිහිටි නිල නිවසේදී සම්මුඛ වූ මහාචාර්ය සේනාරත්නයන් උතුරා යන ළෙන්ගතුකමකින් යුතු මියුරු සාද කතාවෙන් ජීවන ගමනේ සුන්දර මතකයන් අප ඉදිරියේ ආවර්ජනය කළේය.

‘‘මගේ අම්මයි, අප්පච්චියි දෙන්නම ගුරුවරු. ඇටම්පිටිය පන්සල් ඉස්කෝලේ තමයි අප්පච්චි මුලින්ම උගන්වලා තියෙන්නේ. ඊට පස්සේ අම්මයි, අප්පච්චියි පොළොන්නරුව විජයරාජපුර මහා විද්‍යාලයේ සේවය කළා. එතකොට අපි ඉස්කෝලේ යන්නේ නෑ, පුංචියි. අපි පාසල් යන වයසට එනකොට මාතලේ මාතලාපිටිය විද්‍යාලයට මාරුවක් හදාගෙන මාතලේ පදිංචියට ආවා.

ඒ ගමේ ජීවත් වෙනකොට තමයි, මම පාසල් යන්න පටන් ගත්තේ. මම මුලින්ම ගියේ මාතලේ මඩවල උල්පත ප‍්‍රාථමික විද්‍යාලයට. ඊට ටික කාලයකට පස්සේ අම්මවයි, අප්පච්චිවයි ඇරැුව්වල පාසලට මාරු කළා. නැවත අපිට මාතලෙන් දඹුල්ලට යන්න වුණා. ඇරැුව්වල පාසලට දඹුල්ල නගරයේ ඉඳලා හැතැප්ම පහක් පයින් යන්න ඕනෑ. අති දුෂ්කරයි. ගුරු පාර දිගේ යනකොට කොටි, වලස්සු මුණගැහෙනවා. ඒත් අපේ අම්මයි, අප්පච්චියි හරිම සතුටින් ඒ පාසලේ සේවය කළා.

එතකොට අයියා ඉගෙනගත්තේ මාතලේ සෙන්තෝමස් විද්‍යාලයේ. නංගිත් ඒ පාසලේම ඉගෙනගත්තා. මම ඉගෙනගත්තේ මාතලේ විද්‍යා විද්‍යාලයේ. ඊට පස්සෙත් අම්මයි, අප්පච්චී තවත් පාසල් කිහිපයකට මාරු වෙලා ගියා. ඒත් අපි තුන්දෙනා මාතලේ ඉඳගෙන අධ්‍යාපන කටයුතු කරගෙන ගියා..’’

‘අපේ අප්පච්චී වැඩි කාලයක් අපිත් එක්ක හිටියේ නෑ. අපි ඉගෙනගන්න කාලේදීම අප්පච්චි නැති වුණා. අප්පච්චි නැති වෙන්න ඉස්සරින්දා මස් මාළු කන්න එපා කියලා අපිට දීර්ඝ දේශනයක් තිබ්බා. එහෙම කළේ නැන්දලාගේ ගෙදර මස් උයලා අපිටත් දීලා කාපු නිසා. කිසිම දවසක අපේ ගෙදර මස්, මාළු උයන්නේ නෑ.

අම්මයි, අප්පච්චියි දෙන්නාම මස් මාළු කන්නෙත් නෑ. අපි මස් කෑවා කියලා අප්පච්චි ටිකක් කෙන්තියෙන් දොස් කිව්වා. එදා අපි නිදාගත්තේ පාන්දර එකට විතර. උදේ අප්පච්චි දහම් පාසලට ගියා. දහම් පාසල අවසාන වෙලා අප්පච්චි ගෙදර ආවේ ගිය විදිහට නෙමෙයි.

හිටි හැටියේ හෘදයාබාධයක් හැදිලා 1972 ජනවාරි 08 වැනිදා අප්පච්චි නැති වුණා. 1971 දෙසැම්බර් 31 වැනිදා ගුරු වෘත්තියෙන් විශ‍්‍රාම ගිහින් මාසයක්වත් ජීවත් වුණේ නෑ. ඒත් අපේ අම්මා කිසිම අඩුවක් නොකර අපිට හොඳට ඉගැන්නුවා.’’

‘‘මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියේ 1972 අවුරුද්දේ. විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගත්තා. ඒ ප‍්‍රතිඵලවලට අනුව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න මට පුළුවන් වුණා. එතකොට අයියා ඉගෙනගත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ. අයියා අධ්‍යාපන කටයුතුවල නියැලෙන අතරතුරේදී බෝවතැන්න උමඟ හාරන ව්‍යාපෘතියේ පුහුණු ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරගෙන ගියා.

උමඟ හාරගෙන යනකොට මතුවෙන විශේෂ ගල් කෑලි අයියා එකතු කරගෙන ගෙදර ගෙනත්, බිත්ති රාක්කයක පෙළට තියලා සෑම ගල් කැල්ලකටම නම් ලියලා තිබුණා. ඒ නම් දකිනකොට කළු ගල්වලට විශේෂ නම් එන්නේ කොහොමද? කියලා මම කල්පනා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ගෙදර මිදුලේ පුංචි, පුංචි ගල් කැට ගැන විශේෂ උනන්දුවක් දක්වන්න මම පුරුදු වුණා. දවසක් ගෙදර මිදුලේ ගල් ගැට අහුලමින් ඉන්න මොහොතක රීදි පාට ගල් කෑල්ලක් මම දැක්කා.

හපලා බැලූවා. කුඩු කරලා බැලූවා. කොච්චර කෑලි කළත් රීදි පාටෙ වෙනසක් වුණේ නෑ. ඊට පස්සේ මම එවැනි ඛනිජ කෑලි එකතු කරන්න පටන් ගත්තා. ඔහොම ඉන්න අතරේ උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා සමත් වුණා. 1975 අවුරුද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව ගැන අධ්‍යයන කටයුතු කෙරෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ.

මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ විද්‍යා ගුරුවරයෙක් වෙන්න හිතාගෙන. ඒත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා සතියක් දෙකක් යනකොට ‘භූ ගර්භ විද්‍යාව නමින් අලූත් විෂයක් හඳුන්වාදීලා තියෙනවා. ඉගෙනගන්න කැමැති ළමයි සම්බන්ධ වෙන්න’ කියලා පත‍්‍රිකාවක් බෙදුවා.’’

‘‘ඒ පත‍්‍රිකාව බලලා භූ ගර්භ විද්‍යාව විෂය ඉගෙනගන්න මම ඉල්ලූම් කළා. එතකොට මම පරක්කු වැඩියි. ඊට පස්සේ මහාචාර්ය විතානගේ මුණගැහිලා භූ ගර්භ විද්‍යාව ඉගෙනගන්න කැමැති කියලා මම කිව්වා. මහාචාර්ය විතානගේ උඩ ඉඳලා පහළට මා දිහා බලලා ‘භූ ගර්භ විද්‍යාව ඉගෙනගන්න නම් ඇඟ හදාගන්න වෙයි’ කියලා කට කොණින් හිනා වුණා.

එතකොට මම ගොඩක් පොඩියි. අපේ බැජ් එකේ පොඩිම ළමයා. රැවුලවත් නෑ. මම ඇඟ හදාගන්නම් කියලා පොරොන්දු වුණාට පස්සේ විතානගේ මහත්තයා ඒ මොහොතේම මාව භූ ගර්භ විද්‍යා පන්තියට ඇතුළත් කළා.’’

‘‘මහාචාර්ය විතානගේ කාලේදී තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයන අංශය සංවර්ධනය වෙන්න පටන් ගත්තේ. මහාචාර්ය දිසානායක, මහාචාර්ය කපිල දහනායක තමයි අපිට ඉගැන්නුවේ. ඒත් භූ විද්‍යාව ඉගෙනගන්නවා කියන දේ ලේසි පහසු කටයුත්තක් වුණේ නෑ. අධ්‍යයන කටයුතුවලට වනාන්තරවල, උමං අස්සේ රිංගන්න වුණා.

බෝවතැන්න ටනල් එකේ ගල් පුපුරවනකොට අපි ටනල් එක ඇතුළේ සිතියම්ගත කරනවා. සමහර වේලාවට අපි ඉන්න තැන්වලටත් ගල් කෑලි විසි වුණා. ඒ වෙලාවට අපි ගල් බදාගෙන හිටියා. එළියට එනකොට හඳුනාගන්න බැරි තරමට මුළු ඇඟම අළු කුඩුවලින් වැහිලා. මහා කැලෑවල ඇවිදින අවස්ථාවල නිතර දෙවේලේ අලි, කොටි, වලස්සු මුණගැසුණා.

මේ දුෂ්කර ක‍්‍රියාව නිසා භූ ගර්භ විද්‍යාව අංශයට ළමයි ඇතුළත් වුණේ ඉතාම අඩුවෙන්. එක බැජ් එකකට ළමයි පහයි, හහයි. ප‍්‍රථම වතාවට ළමයි දහයට වැඩි සංඛ්‍යාවක් හිටියේ අපේ බැජ් එකේ. අපේ කණ්ඩායමේ දහහත්දෙනෙක් හිටියා. මොරගහකන්ද ප‍්‍රදේශයේ ඛනිජ සම්පත් ගවේෂණයේ නිරත වෙලා ඉන්නකොට 1976 අවුරුද්දේ එක වාර්තාකරුවෙක් අපේ වැඩ ගැන සතිඅන්ත පුවත්පතකට ලිපියක් ලියලා හෙඩින් එක දාලා තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 17 කල්ලිය කියලා.

අපේ කණ්ඩායම දීර්ඝ කාලයක් කළ ගවේෂණයක ප‍්‍රතිඵලයක් විදිහට මොරගහකන්ද ප‍්‍රදේශයෙන් ඛනිජ නිධියක් සොයාගත්තා. ඒ ඛනිජ නිධිය සොයාගැනීමත් එක්ක මාතලේ ප‍්‍රදේශයේ සීඝ‍්‍ර සංවර්ධනයක් වුණා. මේ වෙනකොට මාතලේ දිස්ත‍්‍රික්කය සංවර්ධිත දිස්ත‍්‍රික්කයක්. මිනිස්සු හරිම පොහොසත්. මාතලේ සංවර්ධනය ඇති කිරීමේ අඩිතාලම දැම්මේ අපි කියලා ආඩම්බරයෙන් මම කියනවා.’

1979 අවුරුද්දේ මූලික උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසාන වෙලා කරන්න දෙයක් නැතිකමට ලංකාවේ වෛද්‍ය දත්ත සහ වතුර නියදි කිහිපයක් ගැන පරීක්‍ෂණ කරගෙන ගියා. ඒ පරීක්‍ෂණයෙන් තහවුරු වෙච්ච ප‍්‍රධාන කරුණ තමයි, කිවුල් වතුර බොන මිනිසුන්ට හෘදයාබාධ වැළඳීමේ ප‍්‍රවණතාව අඩු බව.

එහෙම වෙන්නේ මැග්නීසියම් බහුලව අඩංගු වතුර බොනකොට ලේ කැටි ගැහෙන්නේ නෑ. ලේවල තියෙන තෙල් දියවෙන ප‍්‍රවණතාව වැඩියි. ඒ අනුව ලංකාවේ වියළි කලාපීය ජනතාවට හෘදයාබාධ වැළඳීමේ ප‍්‍රවණතාව අඩුවීමේ රහස තහවුරු වුණා. ඒ කාලයේ එවැනි පරීක්‍ෂණයක් ලෝකයේ කිසිම රටක් කරලා තිබුණේ නෑ.

ඒ නිසා මගේ පරීක්‍ෂණයට ලෝක ප‍්‍රසිද්ධියක් ලැබුණා. ඒ සමඟම 1981 අවුරුද්දේදී සහකාර කථිකාචාර්යවරයෙක් විදිහට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාව බඳවාගත්තා. ඔය අතරේ මම කරපු පරීක්‍ෂණය ගැන එංගලන්ත විශ්වවිද්‍යාලයකිනුත් කරලා තිබුණා. ඒ පරීක්‍ෂණයේදීත් කිවුල් වතුර බොන මිනිසුන්ට හෘදයාබාධ වැළඳීමේ ප‍්‍රවණතාව අඩු බව තහවුරු වෙලා තිබුණා.

ඊට පස්සේ මට පරිසර තාක්‍ෂණය අධ්‍යයනය කිරීමට එංගලන්ත ඉම්පීරියල් විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලබාදුන්නා. තුන්වැනි ලෝකයේ ශිෂ්‍යයකුට අවුරුදු දහයකට වතාවක් ලබාදෙන සුවිශේෂී ශිෂ්‍යත්වයක්. අධ්‍යයන නිවාඩු පිට 1981 අවුරුද්දේ සැප්තැම්බර් මාසේදී මම එංගලයන්තයට ගියා.’’

‘‘මම එංගලන්තයට යනකොට හුඟදෙනෙක් ඇහුවා ‘ලංකාවේ පරිසර ගැටලූ නෑනේ. ඇයි ඉතිං පරිසර තාක්‍ෂණය ඉගෙනගන්න වෙහෙසෙන්නෙ’ කියලා. ඒ හැම කෙනාටම මම කිව්වේ ඉදිරියේදී ලංකාවේ පරිසර ප‍්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඒ නිසා පරිසර තාක්‍ෂණය ඉගෙනගෙන තියෙන එක හොඳයි කියලා. භූ විද්‍යා මූලික උපාධියයි, පරිසර තාක්‍ෂණයයි ඉගෙනගත්තම රටට විශාල සේවයක් කරන්න පුළුවන් වෙයි කියලත් මට ලොකු විශ්වාසයක් තිබුණා.

ඒ විශ්වාසය මත එංගලන්තයේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා අධ්‍යයන කටයුතු කරගෙන ගිහින් 1982 අවුරුද්දේ පරිසර තාක්‍ෂණය සම්බන්ධයෙන් මාස්ටර් උපාධියක් ලබාගත්තා. ප‍්‍රථම වතාවට ලංකාවේ විශ්වවිද්‍යාලයකදී පරිසර තාක්‍ෂණය විෂය උගන්වන්න පටන් ගත්තේ මමයි. ලංකාවේ ප‍්‍රථම පරිසර විද්‍යාඥයා මමයි කියලා විශ්වාසයෙන් කියන්නේ ඒ නිසයි.

ඊට පස්සේ මගේ පර්යේෂණ කෘති ගැන අවධානය යොමු කරලා ආචාර්ය උපාධිය හැදෑරීමට ජර්මන් රජයෙන් ශිෂ්‍යත්වයක් ලබා දුන්නා. 1984 වර්ෂයේදී ජර්මනියට ගිහින් ජර්මන් භාෂාවත් ඉගෙනගෙන ආචාර්ය උපාධිය පිළිබඳ අධ්‍යයන කටයුතු ආරම්භ කළා. අවුරුදු තුනක උපාධි පාඨමාලාවක් අවසාන කරලා 1988 ජනවාරි මාසේ මම නැවත ලංකාවට ආවා.

ඒ ඇවිත් මාස දෙකයි මට වැඩ කරන්න පුළුවන් වුණේ. ජේවීපී භීෂණය නිසා විශ්වවිද්‍යාලය වැහුවා. 1990 අවුරුද්දේ තමයි නැවත වැඩ පටන්ගත්තේ. එතැන ඉඳලා දිගටම පර්යේෂණ කරගෙන ගියා. මෙරට විශ්වවිද්‍යාලවල වැඩිම පර්යේෂණ කරන ආයතනය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුව පත් වුණා.’’

‘‘පර්යේෂණ කටයුතු කරගෙන යන අතරතුර දවසක් සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ බුත්තල පීඨයේ ශිෂ්‍යයෙක් උක් වගා බිමකට වැටුණු උල්කාපතයක කැබල්ලක් කියලා පුංචි පාෂාණ කොටසක් මට ගෙනත් දුන්නා. ඒ පාෂාණ කැබැල්ල පරීක්‍ෂා කරලා බලනකොට උල්කාපාතයක කොටස් නෙමෙයි.

මැග්නයිට් කියන ඛනිජ ද්‍රව්‍ය කියලා අපි හඳුනාගත්තා. ඊට පස්සේ අපි කණ්ඩායමක් බුත්තල ප‍්‍රදේශයට ගිහින් ඒ ඔස්සේ ගවේෂණය කරගෙන ගියා. මාස කිහිපයක් ගවේෂණය කරගෙන යනකොට යකඩ නිෂ්පාදනය කරන්න පුළුවන් මැග්නයිට් කියන ඛනිජ නිධිය සොයාගැනීමට පුළුවන් වුණා. ඒක මහා විශාල ඛනිජ නිධියක්.

2001 වර්ෂයේදී තමයි එම ඛනිජ නිධිය සොයාගත්තේ. ඒ ඛනිජ නිධිය නිස්සාරණයකොට යකඩ නිෂ්පාදනය කරන්න අපි විශාල වෑයමක් දැරුවා. ඒත් දේශපාලන කඹ ඇදිල්ල නිසා මේ වනතෙක් ඒ ඛනිජ නිධියත් රටට සම්පතක් කරගන්න බැරිව ගියා. ඒත් අපේ ගවේෂණ කටයුතු නතර වුණේ නෑ. ඒ වගේම රටේ ව්‍යසන අවස්ථාවලදී හැකි උපරිමයෙන් අපේ දායකත්වය ලබාදුන්නා.

සුනාමි ව්‍යසනයේදී සති දෙකක් ඇතුළතදී ළිං හත්දාහක් පිරිසිදු කරන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම පරිසරය දූෂණය වෙන සිද්ධිවලදී අපි මැදිහත් වෙලා ඒ ගැන විශ්ලේෂණය කරලා විසඳුම් ලබා දුන්නා. එවැනි පාරිසරික ක‍්‍රියා, භූ විද්‍යාත්මක ක‍්‍රියාවලට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච නිසා අපිට පර්යේෂණ වැඩි කරගන්නත් පුළුවන් වුණා…’’

‘‘2012 අවුරුද්දේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහට පත් වුණා. මගේ සේවා කාලය තුළදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති ගැටලූ රාශියකට විසඳුම් ලබාදෙන්න පුළුවන් වුණා. ප‍්‍රධාන වශයෙන් පැවති නේවාසික ගැටලූවට සාර්ථක විසඳුම් ලබා දුන්නා. රාජ්‍ය අනුග‍්‍රහය ලබාගෙන අලූත් නේවාසිකාගාර හතක් ආරම්භ කළා.

ළමයි දෙදහසකට නේවාසික පහසුකම් ලබාදෙන්න අපිට පුළුවන් වුණා. මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලූ සිසුන්ට නේවාසික පහසුකම් ලබාදෙන්න පුළුවන්. ඒත් මට දෙවැනි කාලපරිච්ඡේදය වැඩ කරගෙන යන්න දුන්නේ නෑ. 2015 ආණ්ඩු මාරුවීමත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු පාලක මණ්ඩලය ඉවත් කරලා අලූත් පාලක මණ්ඩලයක් පත් කළා. ඒ වෙනකොට විශ්වවිද්‍යාල සංවර්ධනයට රාජපක්‍ෂ රජයෙන් විශාල දායකත්වයක් ලබා දීලා තිබුණා.

2012 අවුරුද්දේ මම උපකුලපති වෙනකොට අවුරුද්දකට පර්යේෂණ සඳහා වියදම් කරමින් තිබුණේ රුපියල් මිලියන පහයි. අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කරලා ඒ මුදල අපි රුපියල් මිලියන එකසියපනහ දක්වා වැඩි කරගත්තා. ඒ සමඟ අපගේ පර්යේෂණ කෘති එළිදැක්වීම සියට තුන්සියයකින් වැඩි වුණා. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාසික විදුලි පරිභෝජනය රුපියල් මිලියන දහහතක් තිබුණා. ඒ විදුලි පරිභෝජනයෙන් රුපියල් මිලියන පහක් අඩු කරන්න මට පුළුවන් වුණා. ඉදිරි අවුරුදු තුන මට වැඩ කරගෙන යන්න අවස්ථාව ලැබුණා නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තවත් විශාල වැඩ කොටසක් කරන්න තිබුණා.’’

‘‘භූ විද්‍යාව පිළිබඳ මෙරට රාජ්‍ය ආයතනයක් ආරම්භ වුණේ 1903 වර්ෂයේදී. භූ විද්‍යා පිළිබඳ අධ්‍යයන අංශයක් ආරම්භ වුණේ 1965 වර්ෂයේදී. ආරම්භක අවධියේ අපේ රටේ භූ විද්‍යාඥයන් හිටියේ නෑ. සේරම හිටියේ විදේශීය ආචාර්යවරු. මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ අපේ රටේ මහාචාර්යවරු හයදෙනෙක් ඉන්නවා.

ආචාර්ය මණ්ඩලයේ දොළොස්දෙනෙක් ඉන්නවා. සියලූ දෙනාට ආචාර්ය උපාධිය තියෙනවා. රසායනාගාර දැනුම, තාක්‍ෂණික දැනුමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල භූ ගර්භ අංශය ඉතාමත්ම ශක්තිමක්. ඒ වගේම මෙරට විශ්වවිද්‍යාල අතරින් භූ ගර්භ විද්‍යා අංශයක් තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විතරයි. භූ ගර්භ විද්‍යා අධ්‍යයන කටයුතු කෙරෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විතරයි. මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් හැත්තෑපස්දෙනෙකුට අධ්‍යයන කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.’’

හේ සුවපහසු අසුන මත හරි බැරි ගැසෙමින් කතාව හමාර කළේය. මේ සුවිශේෂී මිනිසා රටේ දියුණුව වෙනුවෙන් තම උපරිම සේවය කිරීමට කැමැත්තෙන් සිටින්නේය. ගුණ නැණ බෙලෙන් උත්තුංග මේ මිනිසුන්ට නිසි තැන ලබාදී ඔවුන්ගේ දැනුමෙන් රටේ දියුණුවට වැඩක් ගැනීමට රට කරවන බලධාරීන් බුද්ධිමත් විය යුතුය.

එමෙන්ම ඛනිජ සම්පත් සංවර්ධනය යනු වැලි පොළොවල් වැඩි කිරීම හෝ ගල් වළවල් සංවර්ධනය කිරීම නොවේ. ඊට ඔබ්බට ගිය විද්‍යාවකි. ඒ විද්‍යාවට අවශ්‍ය දැනුම අපේ රටේ උපරිමයෙන් තිබෙන බව මහාචාර්ය අතුල සේනාරත්නයන්ගේ කතාවෙන් පැහැදිළිය. එහෙයින් මෙරට නිධන්ගතව තිබෙන ඛනිජ සම්පත් සොයාගෙන රාජ්‍ය ආර්ථිකයට දායක කරගැනීමට භූ විද්‍යාඥයන්ට අවශ්‍ය සියලූ පහසුකම් ලබාදීමට රජය පසුබට නොවිය යුතුය.

තරංග රත්නවීර / ඉරිදා දිවයින

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button