BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපති වාසු, විමල් ගම්මන්පිලට අනතුරු හඟවයි.

කැබිනට් මණ්ඩලයේ එකට සිට රට වසා දමන‌ ලෙසට කිසිවක් ප්‍රකාශ නොකොට එළියට විත් රට වසා දමන ලෙසට විමල් වීරවංශ මහතා ඇතුලු ආණ්ඩුවේ කොටසක් ලිපි ලිවීම කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බව SLPP  අද අවධාරණය කලා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාත්, පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතාත් මේ බව අවධාරණය කර සිටියේය.

මෙහිදී ලොකුගේ මහතා කියා සිටියේ මෙම කණ්ඩායම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කණ්ඩායමක බළල් අඅත් ලෙස කටයුතු කරන බවට සැක මතුවී ඇති බවකි.

මෙම කණ්ඩායම මෙවැනි ක්‍රියාවක් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවන බවත්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු සදහන් කර සිටියහ.

 

ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වූ වාසු, උදය හා විමල් පෙරදා පැය 5 ½ක් තරම් දිගට ගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී රට වසා දැමීමේ යෝජනාවක් නොකර පසුදා සෙසු පක්ෂ ගණනාවක් සමඟ එක්වී රට වසන ලෙස ලිඛිතව දැන්වීම ගැන ජනාධිපතිවරයා සිටියේ තරහිනි.

ඒ සමඟ මේ අමාත්‍යවරුන් තිදෙනාටම වෙන වෙනම දුරකතනයෙන් ඇමතූ ජනාධිපතිවරයා ඔවුන් කර ඇත්තේ බරපතළ වරදක් බවත් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම උල්ලංඝනය කර ඇති බවත් කීය.

එබැවින් තමන්ට ඔවුන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ හැකි බවත් එක් අමාත්‍යවරයකු අමතා සඳහන් කර ඇත.

එවිට අදාළ අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ තමන් වෙනත් පක්ෂ නියෝජනය කරන බැවින් ජනමතය අනුව මෙම ප්‍රකාශය කළ බවය.

එහෙත් එක් අමාත්‍යවරයෙක් පමණක් තමන් එවූ ලිපියේ වරදක් ඇති බව පිළිගත්තේය. ඔහු තමන්ගේ ලිපිය මගින් වරදක් සිදුවූ නිසා එය නිවැරදි කරමින් අවශ්‍ය නම් පසුදා තමන්ට පමණක් ප්‍රකාශයක් කළ හැකි බව ජනාධිපතිවරයාට දැන්වීය.

ඒ අතර මේ ගැන දැඩි අසතුටින් සිටි ජනාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරුන් වෙතද මෙම කරුණ දැනුම් දී තමන්ට මෙම අමාත්‍යවරුන් කැබිනට්ටුවෙන් ඉවත් කළ හැකි යැයි කියා තිබිණි.

එහෙත් අග්‍රාමාත්‍යවරයා ගෝඨාභය ජනාධිපතිවරයාට කීවේ තමන් අදාළ අමාත්‍යවරුන් සමඟ කතා කොට ප්‍රශ්නය විසඳා ගන්නා බැවින් කලබල නොවන ලෙසයි.

ඒ අනුව ඔහු වාසු, විමල් හා උදය සමඟ දුරකතනයෙන් කතාකොට සුහද ලෙස කරුණු විමසීය. එදා රාත්‍රියේ අරලිය ගහ මැඳුරේ ඔවුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් තමන් සූදානම් කර ඇති නිසා ඊට සහභාගි වී කතාබස් කොට ප්‍රශ්න විසඳාගනිමු යැයි මහින්ද ඔවුන්ට කීය.

සිකුරාදා රාත්‍රි 7.30ට පමණ අදාළ අමාත්‍යවරු අරලියගහ මැඳුරට පැමිණ මහින්දගේ භෝජන සංග්‍රහයට එක්වූහ.

ඊට එක්ව සිටියේ විමල්, උදය, වාසු සහ බන්දුල ගුණවර්ධන පමණි. පුරා පැය 4කට ආසන්න කාලයක් සුහද කතාබහ සමඟ රාත්‍රී භෝජනය ඇදී ගියේය. රාත්‍රී 11.30ට පමණ එය නිමාවූයේ සියලු තරහ මරහ අමතක කරමිනි.

මේ අතර පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් රැස්වීම අතරතුරදී අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් හදිසියේම ඉවත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළ ප්‍රධානීන් විශේෂ වාර්තාවක් කැදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කොරෝනා තත්ත්වය හේතුකොටගෙන පසුගිය අගහරුවාදා කැබිනට් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වී ඇති අතර පස්වරු 5.30ට ආරම්භ වී ඇති රැස්වීම රාත්‍රී 10.30 දක්වා ඇදී ගොස් ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වී ඇති රට වසා දමන ලෙසට වූ යෝජනාව පිළිබදව ජනාධිපතිවරයා දීර්ඝව අදහස් පළ කිරීමක් කොට ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් රාත්‍රී 9ට පමණ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් හදිසියේම කිසිදු‌ හේතුවක් නොදක්වා සූම් කැබ්නට් සාකච්ජාවෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

පසුව දැනගන්නට ලැබී ඇත්තේ උදය ගම්මන්පිල මහතාගේ නිවසේ රාත්‍රී 7ට ආණ්ඩුවේ පක්ෂ 10ක කණ්ඩායමේ රැස්වීමක් සංවිධාන කොට තිබී ඇති බවත්, ඊට සහභාගී වීම සදහා ඇමැතිවරුන් තිදෙනා රාත්‍රී 9ට පමණ සූම් කැබිනට් සාකච්ජාවෙන් ඉවත්ව ගොස් ඇති බවත්ය.

රට සති 3කට වසා දමන ලෙසට ආණ්ඩුවේ පක්ෂ 10ක නියෝජිතයන් නිවේදනයක් නිකුත් කළේ මෙම රැස්වීමේදී ගෙන ඇති තීන්දුවකට අනුව බවද පැවසේ.

කෙසේවෙතත් කැබිනට් රැස්වීමේදී මෙම අමාත්‍යවරුන් තිදෙනා රට වසා දැමීම් පිළිබදව වචනයක් හෝ නොකියා පසුව එදිනම රාත්‍රියේ ආණ්ඩුවේම ඇමැතිවරයකුගේ නිවසේදී රැස්ව රට වසා දමන ලෙසට ලිපියකට අස්සන් තැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් මේ වනවිට දැඩි කෝපයට පත්ව සිටින බවක්ද දැනගන්නට ඇත.

එම රැස්වීම සම්බන්ධයෙන් සොයා බලා වහාම වාර්තාවක් සපයන ලෙසට ආණ්ඩුවේ ප්‍රධානීන් වගකිවයුතු අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවක්ද වාර්තා වේ.

(දේශපාලන වාර්තා)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button