BREAKING NEWSEXCLUSIVEPOLITICS

” මා නිරීක්ෂණය කර ඇති ආකාරයට රටටම ඇති පොදු ප්‍රශ්නය වන්නේ කිසිවෙකු වැඩ නොකිරීමයි.” – ජනපති

ජනාධිපතිවරණයට පසුව තමා නිරීක්ෂණය කළ ආකාරයට රටටම ඇති පොදු ප්‍රශ්නය වන්නේ කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපතිවරයා පැවසීය. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් බවත් ප්‍රකාශ කළ එතුමා, කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක තිබීම එයට නිදසුනක් බවත්, මා ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සුදානම් වන ලෙස බව වැඩිදුරටත් අදහස් දක්වමින් ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ(17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කලේය.

“සෑම පවුලකටම සුව පහසු නිවසක්” හිමිකර දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේක්ෂාවකි. නිවසක අවශ්‍යතාව තිබුණත් එය තනිව සපුරාගත නොහැකිවීම බහුතරයකට ඇති ගැටළුවක්. නාගරික, ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස හිඟය විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින් බව තමා තරයේ විශ්වාස කරන කරුණක් බව ප්‍රකාශ කළ අතර, “ඔබට ගෙයක්, රටට හෙටක්” සංකල්පය තේමා කර ගනිමින් තම අමාත්‍යාංශය දැනටමත් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් අඩු අදායම්ලාභීන්ට නිවාස 14,022ක් ඉදිකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය . මේ ව්‍යාපෘතිය යටතේ වසර 05ක් අවසන නිවාස 70,100ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

ඔක්තෝබර් 05 වැනි දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව “සපිරි මහල් නිවාස වැඩසටහන” යටතේ වැරැල්ලවත්ත, මිහිඳුපුර, පරංගියාකුඹුර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර සහ තංගල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නිවාස ඒකක 1500ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
සියලු ඉදිකිරීම්වලට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් ඔවුන්ට පෙන්වා දෙන ලදී.

නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසේ. මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැළපෙන මහල් නිවාස ඉදිකිරීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයනු ලැබේ. උතුරු පළාතේ සුබසාධන කඳවුරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තනා නැවත කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ද මෙහිදී විසින් උපදෙස් දෙනු ලැබිණ.

රට පුරා පවුල් පන්ලක්ෂ විසි හය දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි නැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි කියා සිටියේය.පැරණි මහල් නිවාස සංකීර්ණවල මලාපවාහන පද්ධති නඩත්තු කළයුතුව ඇතැයි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යළි පණ ගැන්විය යුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කීය. සංස්ථාවේ ප්‍රාදේශීය ශාඛා ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන නියෝජිතයෙකු ලෙස යොදාගත යුතු යැයි යෝජනා විය.

ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය යන ආයතනවල වත්මන් තත්ත්වය සහ ඒවා සංවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ සාකච්ඡාවට ලක් විය.
ඉදිකිරීම්, කෘෂිකර්ම සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල පෙරළියක් ඉදිරි වසරේ සිට අපේක්ෂා කරන බැවින් මේ සියලු ආයතන දැඩි උද්යෝගයකින් සේවා සම්පාදනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

නිවාස, මාර්ග, පාලම් සහ වැව් විශාල සංඛ්‍යාවක් ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණයට රජය සැලසුම් කර තිබේ. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන ඉදිකිරීම්වලට දායක කර ගන්නැයි වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් දුනි.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජකයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button