BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සංචරණ සීමා දීර්ඝ කළ හේතුව ජනපති පහදයි – කොවිඩ් නොවන මරණවල අවසන් කටයුතු ගැනත් නිලධාරීන්ට උපදෙස්

කොවිඩ් නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කිරීමට අනුමැතිය ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

කොවිඩ් නොවන මරණ පී සී ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් තටයුතු සිදු  කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳ බොහෝ දෙනෙකුගෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

එමගින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් මුහුණදෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමිනුයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

පසුගිය 14 වනදා සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද ජුනි 11 වනදා මරණ 101ක් වාර්තාවූ බවට ලැබුණු දත්ත පදනම් කර ගනිමින් ලබන 21 වනදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව මෙම සාකච්ඡාවේදී අනාවරණ වී තිබෙනවා.

පසුව මෙම මරණ සිදුවී ඇති ආකාරය පිළිබඳ සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුලුල් විමර්ශණයක් කර ලබාගත් දත්ත පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දීර්ඝ ලෙස කරුණු පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එහිදි අනාවරණ වී ඇත්තේ ඇතැම් මරණ පෙබරවාරි 6 සිට ජුනි 11 දක්වා මාස 4ක කාලසීමාව තුල සිදුවී මරණ සහතික ද නිකුත් කර ඇති බවටයි.

ඇතැම් මරණ පිළිබඳ තොරතුරු අවස්ථා දෙකකදී සඳහන්ව ඇති බවට ද සොයාගෙන තිබෙනවා.

ජුනි 11 වනදා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බවට සිදුකළ පුලුල් විමර්ශණයෙන් හෙළිකරගත් බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.

දත්ත සැපයීමේ නිවැරදිවීම සහ කාලීන වීම නිවැරදි තීරණ ගැනීමට අත්‍යවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.

මේ අතර මේවන විට එන්නත් මිලියන 4කට අධික ප්‍රමාණයක් ගෙන්වා ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණ වී තිබෙනවා.

ලබන ජුලි මාසයේදී අවම වශයෙන් තවත් එන්නත් මිලියන 4ක් ලැබීමට නියමිත අතර ඒ අනුව ඉදිරි කාලය තුල ඉහළ ප්‍රතිශතයකට එන්නත් ලබාදීමේ හැකියාව ඇති බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියාසිටියේ.

මේ අතර කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී තීරණය කෙරුණේ ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමටයි.

එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ  සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීම නැවත ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට  ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු අතර සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button