ARTICLES

කොළඹ වරාය නගර පනත පිළිබඳ ඇත්ත මෙන්න !!

මැයි 20 වනදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ වරාය නගර පනත, එහි අන්තර්ගතය හා ඉදිරි වැඩ පිළිවෙළ මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ.

 

මෙම මාධ්‍ය සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලිසබ්‍රී, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ යන මහත්වරුන් සහභාගි වූහ.

 

මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරමින් අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා කියා සිටියේ,

” පාර්ලිමේන්තුවේ දී පෙරේදා සම්මත කරන ලද වරාය නගරය පනත මේ රටේ ආර්ථික සංවර්ධනයට අතිවිශාල රුකුලක් කියලා විවාදයකින් තොරව අපි හැමෝටම පිළිගන්න සිද්ධ වෙනවා..

 

“රට තුළ පවතින ණය බර වැඩි කර නොගෙන විදේශ විනිමය රට තුළට ගෙන්වා ගැනීමට නම්, විදේශීය ආයෝජකයින් අවශ්‍ය වෙනවා. එසේ ආයෝජන ගෙන්වා ගැනීමට අවංක හා දැඩි අවශ්‍යතාවක් තියෙනවා නම් ආයෝජනයන් සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ ආකර්ෂණීය බවක් ඇති කළයුතු වෙනවා,

 

“මෙවැනි ආයෝජකයන්ට ලොව පුරා අවස්ථා තියෙනවා. තරඟකාරී ලෝකයක් තුළ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට නම් ඊට යෝග්‍ය ක්‍රමවේද, නව ආයතන, නිර්මාණය කර ගැනීම කාලීන අවශ්‍යතාවක් වෙලා තියෙනවා,

 

“ආයෝජකයන් මෙහි ගෙන්වා ගැනීමට නම්, නීතිමය ව්‍යුහයක් අවශ්‍යයයි. එවැනි අංග සම්පුර්ණ කාර්‍යක්ෂම නීති ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමට තමයි රජය වරාය නගර පනත පාර්ලිමේන්තුට ඉදිරිපත් කරලා සම්මත කර ගැනීමට තීරණය කළේ,

 

“ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය ප්‍රකාර මුල්‍ය පරිපාලන බලතල සම්පුර්ණයෙන්ම තියෙන්නේ පාර්ලිමේන්තුවට. වරාය නගරයේ බදු සහන ලබාදීම සම්බන්ධයෙන් රෙගුලාසි සකස් කරන්නේ, අනෙකුත් වරප්‍රසාද තීරණය කරන්නේ පාර්ලිමේන්තු අනුමැතියට යටත්වයි,

 

“ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය අනුව විගණකාධිපතිට සුවිශේෂී බලයක් තියෙනවා වරාය නගරයේ මුල්‍ය කටයුතු පරීක්ෂා කර බලන්න. මුල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ඔහු සෑහීමකට පත්විය යුතු අතර, ලැබෙන බදු මුදල් බැර කරනු ලබන්නේ ඒකාබද්ධ අරමුදලටයි,

 

“එහි නියාමන ආයතන ලෙස, මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුව, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, විදුලි සංදේශ නියාමන කොමිසම, කටයුතු කරනවා, ශ්‍රී ලංකා පරිපාලන ව්‍යුහයේ අන්තර්ගත වැදගත් කොටස් ලෙස ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම නියාමන ආයතන ක්‍රියාත්මක වෙනවා,

 

“මේ සියල්ලෙහි බලතල කිසිදු සංශෝධනයකට භාජනය නොකර ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව, සම්මත කර ගත් පනතේ 74 වගන්තියේ ඉතා පැහැදිලිව තියෙනවා,

 

“මහ බැංකුවට පැවරී ඇති කාර්‍යභාරය සිදු කරන්නේ වරාය කොමිෂන් සභාව විසින් නොවන අතර, මුදල් විශුද්ධීකරණ පනත මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද වරාය නගරය තුළ බලාත්මක වෙනවා,

 

“පරිපාලන දිස්ත්‍රික් පනත යටතේ, වරාය නගර භූමිය කොළඹ දිස්ත්‍රික්කයට අයිති

ශ්‍රී ලංකාවේ අන්තර්ගත භූමියේම කොටසක්. 2019 ජූලි 23 දින යහපාලන ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරමින් අනුමැතිය ලබා ගෙන තියෙනවා,

 

“ශ්‍රී ලංකා අධිකරණයට සම්පුර්ණයෙන් බලය තියෙනවා වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට. දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධය නඩු විධිවිධාන සංග්‍රහයේ මේ සියලු පනත් අන්තර්ගතයි.

වරදක් සිදුව ඇත්නම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තිය යටතේ අභියාචනාධිකරණයට ගොස් රිට් ආඥාවක් ලබා ගන්න පුළුවන්. එමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක් වුවද ගොනු කිරීමට හැකි විධිවිධාන පනත තුළ සලසා තියෙනවා,

 

“සංශෝධනය කරන ලද වගන්ති රජයක් හැටියට අපි පිළිගත් අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව විවාදය කෙරෙන අතරතුරේදී, කමිටුව ඉදිරියේ අදාළ සංශෝධනයන් පනතට ඇතුළත් කිරීමට සූදානම් යනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු,2/3 හෝ ජනමත විචාරණයකින් තොරව සරල බහුතරයක එකඟත්වය ලබා ගැනීමෙන් පසු එකී සංශෝධන නීති කෙටුම්පතට ඇතුළත් කළ යුතුයි, මෙම කරුණු සපුරා ඇති, වරාය නගර පනත අපගේ නීති පද්ධතියේ කොටසක් ලෙස මේ වනවිට සම්මත වී අවසන් වී ඇති අතර, දැන් මෙහි ප්‍රයෝජන ගැනීමේ හැකියාව ජනතාවට හිමි වෙනවා ..”යනුවෙන් ජී.එල්.පීරිස් මහතා පැවසීය.

 

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා අදහස් දක්වමින්, “..ලෝකයේ රටවල්

146 ක මෙවැනි විශේෂ ආර්ථික කළාප (Special Economic Zone) ක්‍රියාත්මක වෙනවා. ලෝකය හා සැසැඳීමේදී කර්මාන්ත ශාලාවක් ඉදිකරනවා වගේ නෙවෙයි, අපේ රටේ පිහිටීම, වරාය පිහිටීම, ජාත්‍යන්තර නැව් ගමනාගමනයේ අපි ඉන්න සුවිශේෂී තැන වගේ සාධක මත උපාය මාර්ගික වශයෙන් අපි ඉන්නේ ඉතාමත් හොඳ ස්ථානයක,

 

” විපක්ෂ කණ්ඩායම් විදේශිය විවිධ බලවේගයන්හි සැඟවුණු න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න බොරු බිල්ලෙක් මවලා පෙන්වූවත්, පනත රටට වැදගත් විදිහට දැන් සම්මත කර අවසන්. විපක්ෂයට වගකීමක් තියෙනවා ඉදිරියේදී වගකීමෙන් වැඩ කරන්න,

 

” වරාය නගරය පාලනය කරන්නේ කොමිෂන් සභාව විසින්. කොමිෂන් සභාව පිහිටුවන්නේ ජනාධිපතිවරයා විසින්. ජනාධිපතිවරයා පත් කරන්නේ මේ රටේ පරමාධිපත්‍යය බලය හිමි ජනතාව විසින්. එසේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතුයි,

 

” ආකර්ෂණීය භූමි භාගයක පිහිටි වරාය නගරය තුළ අධි සුඛෝපභෝගී නැව් තටාංක, සුවිශාල වෙළඳසැල්, මනරම් මුහුදු වෙරළ, දෙස් විදෙස් පතළ රෝහල්, ජාත්‍යන්තර පාසැල්, ජාත්‍යන්තර බැංකු වැනි උපාංග වලින් සමන්විත වෙනවා,

 

” යටිතල පහසුකම් වෙනුවෙන් මේ වන විට ඇ. ඩො. බිලියන 1.5 ක ප්‍රමාණයක් ලැබී ඇති අතර, 2040 වසර වනවිට තවත් ඇ ඩො බිලියන 15ක මුදලක් මේ වෙනුවෙන් ආයෝජනය කරනවා…” යැයි අලි සබ්රි මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

 

” විපක්ෂයේ පිරිස් නඟන චෝදනාවක් වූයේ වරාය නගරය තුළ මහා පරිමාණයෙන් කලු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් ඇති වන බවයි. එහෙත් පළමු වරට 2006 අංක (5) දරණ මුදල් විශුද්ධීකරණ පනත ලංකාවට හඳුන්වාදීමට මූලික වුණේ එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් බව, සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේය,

 

” වරාය නගරය ආරම්භයේ දී ශ්‍රී ලංකාව තුළට එන සෘජු ආයෝජනයන් දෙගුණයක් වෙනවා. සේද මාවත නාවික සංධිස්ථානයක් ලෙස අතීතයේ සිට ක්‍රියාත්මක වුණා සේම මෙම ව්‍යාපෘතිය හරහා, ලෝක ජනගහනයෙන් 50% කට පමණ මෙහි ප්‍රවේශවීමට ඉඩකඩ ලැබෙනවා, විතරක් නෙවෙයි ඉදිරියේ දී ආයෝජකයන් වැහි වහිනවා..”

 

එසේම නගරය ගොඩ නගන අවස්ථාවන වන විට රැකියා එක් ලක්ෂ හැටදහසක් පමණ බිහිවන අතර, නගරය ක්‍රියාත්මක වන අවධිය වෙද්දී සෘජු හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ තුනක් පමණ බිහිවන බව ජයන්ත වීරසිංහ මහතා තව දුරටත් කියා සිටියේය.

 

“..මෙම කොමිෂන් සභා පනත සම්මත කර ගැනීම හරහා රජය අපේක්ෂා කරනවා,

“එක් කවුළුවකින්” සියලුම කටයුතු කරගත හැකි ව්‍යුහයක් තුළින්, වාණිජමය නගරයක ක්‍රියාවලිය පාලනය වීම

“විදහා දැක්වීම” හා, එසේ වීම තුළින් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමත්, උපරිමයෙන් නිසැක ඵල නෙළා ගැනීමත්

කළ හැකිබව..” යැයි අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවට එක්විය.

 

” දැන් බලන්න කුඩා හෝ ගොඩනැගිල්ලක් ආයතනයක් ආරම්භ කිරීමේ දී අදාළ සැලසුමක් අනුමත කරගන්න, ජලය විදුලිය ලබාගන්න හා වෙනත් එවැනි කටයුතු වලදී අයදුම් පත්‍රයත් ඉදිරිපත් කරලා කොච්චර කාලයක් බලා ඉන්න ඕනි ද? දැනට ක්‍රියාත්මක රාජ්‍යතාන්ත්‍රය තුළ එවැනි දෙයක් ලෙහෙසියෙන් පහසුවෙන් කර ගත හැකි තත්වයක් නිර්මාණය වෙලා නැහැ,

 

” විශාල ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා මේ හැමදේම ලේසියෙන් එකම තැනකදී කරගන්න. එම නීතිමය රාමුව අපි කොමිසම හරහා ක්‍රියාත්මක කරනවා. ලෝකයේ මෙවැනි ආයෝජන කලාප 5000 ක් පමණ ආරම්භ කර ඇතත්, ඒවාගෙන් සාර්ථක තත්වයට පත්ව ඇත්තේ, 100 ත් 200 ත් අතර ප්‍රමාණයක් පමණයි,

 

” මනා කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් එම ව්‍යාපෘතීන් අසාර්ථක වී ඇති අතර, ස්ථාවර රජයක් යටතේ මේ බැරෑරුම් ඉලක්කය කරා අපිට යන්න පුළුවන් වෙනවා. එය ලෙහෙසි නැහැ, වසරකට ඇ.ඩො. බිලියන 3000ක ඉලක්කයක්,

 

“.මේ කාර්‍යභාරයේ ප්‍රතිලාභ, ලෙස මුල් වසර කිහිපයේ දී දළ දේශීය නිෂ්පාදනයට අලුතින් ඇ.ඩො. බිලියන හතර හමාරක් ලැබීමට නියමිතයි. ඉන්පසු බිලියන 15ක් ලෙස ප්‍රතිලාභ ගලා එද්දී අලුත් ගැම්මකින් ආර්ථිකය ඉදිරි පිම්මක් තැබිය හැකියි,

 

” ලෝකයේ විවිධ රටවලට විවිධ ජාතීන්ට වරාය නගරයේ ආයෝජනයට අවස්ථාව තියෙනවා. 26 වන ජාත්‍යන්තර

“Future Of Asia” සමුළුව අමතමින් අතිගරු ජනාධිපතිතුමා ජපන් රජයට ආරාධනය කළා ශ්‍රී ලංකාවට ඇවිත් ආයෝජනය කරන ලෙසට හා ඔවුන්ගේ ආයෝජනයන් සුරක්ෂිත තබා ගන්න ශ්‍රී ලංකා රජය පොරොන්දු වන බවට යැයිද, ” ශ්‍රී ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ලෙස යළි පිබිදෙමින් සුවඳ හමන මේ මල් වට්ටියට බේදයකින් තොරව අත ගහන්න කියලා අපි විපක්ෂයට ආරාධනය කරනවා” යැයි අවසන් වශයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button