BREAKING NEWSEXCLUSIVEPOLITICS

අගමැති මහින්ද හදිසියේම වැසී ගිය කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින පෙරවරුවේ කන්කසන්තුරේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, යුද්ධය හේතුවෙන් වැසී ගිය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා අගමැතිවරයා එලෙස නිරීක්ෂණ චාරිකාවට එක්වු බවය.

1950 වර්ෂයේ ආරම්භ කර ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමග පැවැති යුද ගැටුම් හේතුවෙන් 1990 දී වසා දැමිණි.

මෙම කර්මාන්ත ශාලාවට අක්කර 728ක භූමි ප්‍රදේශයක් අයත් වුවත් අද වනවිට එම භූමියේ බොහෝ ප්‍රදේශ ජනාවාස බවට පත්ව තිබේ.

2021 පෙබරවාරි 08 වැනිදාට අයත් කැබිනට් මණ්ඩල තීන්දුවට අනුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ප්‍රයෝජනයට ගත හැකි ගොඩනැගිලි පමණක් ඉතිරිකොට අනෙකුත් ගොඩනැගිලි විනාශ කර දැමීමට තීරණය විය.

එසේ වුවද අදාළ ගොඩනැගිලිවලින් සියයට 80ක්ම නැවත ප්‍රතිසංස්කරණයකොට ප්‍රයෝජනයට ගත හැකි බව මේ වනවිට හෙළිව ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ එම නිරීක්ෂණ චාරිකාව තුළ දී අනාවරණය වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ගොඩනැගීම රජයේ යෝජනාව වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග මෙම නිරීක්ෂණ චාරිකාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහත්වරු එක්ව සිටියහ.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාවිඩපුරම් කන්දසාමී කෝවිලට ගොස් එහි ආගමික වතාවත්වල නිරත විය.

මාවිඩපුරම් කන්දසාමි කෝවිලේ ප්‍රධාන පූජක රට්න සභාපති කුරුක්කල්තුමා මෙහි දී අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කරමින් විශේෂ පූජාවක් පැවැත්වීය.

රට්න සභාපති කුරුක්කල්තුමා මෙහිදී අග්‍රාමාත්‍යතුමාට සිහිවටන තිලිණයක් ද ප්‍රදානය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button