BREAKING NEWSEXCLUSIVE

නිරෝධායනයට ජලය දීමට ගිය රඹුක්කන PHI මහතාට අවු.15 තරුණයාගෙන් පිහි පහරක්!

නිරෝධායනය සඳහා යොමු කොට සිටි නිවැසියන් සඳහා ජලය ලබා දීමට කටයුතු කරමින් සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්ට රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයේදී පිහි ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිදුකරන මෙහෙයුම් අතරවාරයේදී නිරෝධායන ක්‍රියාවලියකට යොමු කොට ඇති රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයේ පිහිටි නිවාස 04 ක නිවැසියන්ට ජලය නොමැතිවීම නිසා බවුසරයක ආධාරයෙන් ඔවුන්ට ජලය ලබාදීමට මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කටයුතු කර ඇත. ඒ ප්‍රදේශයේ ග්‍රාමසේවක නිලධාරිවරයා සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙකුගේ සහය ලබාගනිමින් බවයි වාර්තා වන්නේ.

එලෙස අදාළ නිවාස 04 ට ජලය සපයමින් සිටියදී එම නිවාස ආසන්නයේ පිහිටි නිරෝධායනයට ලක්නොවූ නිවාස දෙකකින් ජලය ඉල්ලා ඇති අතර එහිදී ජලය ලබාදීමට ප්‍රමාද වීම හේතුවෙන් එහි එක් නිවසක සිටි 15 හැවිරිදි දරුවෙක් මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පිහියෙන් ඇන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර සිටියේ.

එල්ල කරනු ලැබූ පිහි ප්‍රහාරය වලකා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එක්වරම ක්‍රියා කිරීම නිසා එය ඔහුගේ කකුලට එල්ලවී ඇති අතර 15 හැවිරිදි එම දරුවා මේ වන විට සැඟවී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම දරුවා මිට පෙරද යම් අපරාධයක් සම්බන්ධයෙන් පරිවාස භාරයට පත් කොට සිටි අයෙක් බවත් මේ වන විට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button