BREAKING NEWSEXCLUSIVE

එදා පරංගීන්ට දුවන්න පහරදුන් ඌවේ මිනිසුන් අද විඳින දුක!

පෘතුගීසී  සේනාංකයකට පෙරදිගදී එල්ලවූ දරුණුතම ප්‍රහාරය එල්ල වූයේ අපේ රටේ ඌව පළාතේදීය. එම සටන ඉතිහාස ගතව ඇත්තේ රන්දෙණිවෙල සටන නමිනි.  බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, බල්ලකෙටුවේ සිට පහළට දිවෙන ගම්මාන රැසක ජනයා මේ සටන වෙනුවෙන් කළ කැපවීම ඉමහත්ය.
වැල්ලවායට හා ඇල්ලට අයත්ව පිහිටි ගම්මාන රැසක් මේ අතීත තොරතුර තවමත් සඟවා ගෙන ඇති සේය.
රන්දෙණිය පිහිටි රන්දෙණිවෙල පමණක්නොව, මීකඳවෙල, ඉළුක්පැලැස්ස, උඩවාඩිය, මීදෙණිය, කොඩිය කන්ද යන ප්‍රදේශ වල සැඟවුණු තොරතුරු සොයා ඉරිදා ලංකාදීපය ගිය ගමනක වගතුග බොහෝය.  

අපි බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල බල්ලකෙටුවෙන් ගමන් පටන්ගතිමු.
මාර්ගය ආරම්භයේ කාපට් අතුරා තිබේ.
කි.මී. දෙකක් දුරට කාපට් අතුරා සංවර්ධනය කර ඇත්තේ ඌව හිටපු ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ උපදෙස් මත බව දැනගන්නට ලැබිණ.
ඉන් ඔබ්බට මාර්ගය තවමත් සංවර්ධනය වී නැත. පසුගිය කාලයේ තරමක් දුරට පස්කැපීම් සිදුව ඇතත් එය ප්‍රමාණවත් නොවන බැවින් ගමන දුෂ්කරය.
අපි ඉළු‍ක්පැලැස්ස දෙසට ගමන් කළෙමු.
බී.එම්.එස්. බණ්ඩාර – නමති ඉරිදා ලංකාදීප ලෝලියා අපට හමුවීම ලොකු ශක්තියකි. පසුගිය කාලය පුරාවට ඌවේ ඓතිහාසික තොරතුරු පිළිබඳව ඉරිදා ලංකාදීපයේ පළවූ විශේෂාංග ලිපි රැස්කර සුරැකිව තබාගෙන සිට ඔහු අප පිළිගත්තේ අපමණ සෙනෙහසෙනි.
මා හඳුනාගැනීමට ලැබීම ගැන ඔහු සතුට ප‍ළකළේය.
අපි කතා බහ පටන්ගතිමු.

මේ ඉළුක්පැලැස්ස, මේක ඌවේ තියෙන වඩාත් සංවේදී ඉතිහාසයක් ඇති ගමක්.
මහත්තයෝ මේ ගමට ඉළුක්පැලැස්ස කියලත් කියනවා ස්ත්‍රීපුරය කියලත් කියනවා . ඉළුක්පැලැස්ස කියල කියන්නේ ඉළුක්වලින් පියස්ස ආවරණය කළ පැල්පත් රාශියක් ඉස්සර මේ ගමේ ඉදිකරලා තිබිලා තියෙනවා.
ඒවායේ ඉඳලා තමයි අපේ සේනාව පෘතුගීසීන්ට එරෙහි සටන් දියත් කරලා තියෙන්නේ. ස්ත්‍රීපුරය කියන්නේ සටනට ආ කුමාරවරුන්ගේ අන්තඃපුර ස්ත්‍රීන් මේ ගමේ නතර කර ගෙන හිටි නිසා.

මේ ගමේ පැරැණි අයගේ උප්පැන්න සහතිකවල ලිපිනය තියෙන්නේ ස්ත්‍රීපුර කියලා.
තරමක් දුරට මාර්ගය පස් කපා ඇතත් වාහන ගමන් කළ නොහැකි නිසා අපි පා ගමනින්ම ඉදිරියට ගියෙමු.
අවට කෙත් වතුය. සරුසාර වී සහ එළවළු වගාබිම්ය.
කැලෑව මැදින් ගලාබස්නේ නමුනුකුළින් ගලනා ශීතල දිය දහරාවන්ය. කෙත්වතුවලට පණ දෙන්නේ මේ ශීතල ජලදහරාවන්ය.
ජලදෝතක් දෑතට ගෙන බිව්වෙමි. ශීතකරණයක දමා සිසිල් කළ ජලයට වඩා ශීතලය. කපුටු ඇසක් මෙන් පැහැදිලිය.
මේ ගම්මානවල අයට වතුරෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. බණ්ඩාර පැවසුවේ කතුන් කීපදෙනෙක් ස්තානය කරමින් සිටි ස්වාභාවික නිවුන් ජල පීලි දෙක පෙන්වමිනි.
රළු බොරලු‍ මාර්ගයේ කිලෝ මීටර් 2ක් පමණ දුර ගමන් කළ පසු අතුරු මාර්ගයකි. එය කලකට පෙර පස් කපා සකස් කළ එකකි. එහෙත් එය නිසි ලෙස සිදුවී නැත එනිසා මාර්ගයේ යා හැක්කේ තවලම් ගොනුන්ට පමණි. ඇතැම් ස්ථානවලින් එගොඩවීමටද අපහසුය.
ගොවිබිමේ සිට තක්කාලි මල්ලක් හිසේ තබාගෙන කාන්තාවක් අප ඉදිරියට පැමිණියේ කුඩා දරුවන් දෙදෙනෙක්ද සමඟය.
ඒ.එම්. පොඩිහාමිනේ (50) නමැති එම ගෙවිලිය ගේ මැසිවිල්ලට සවන් දුනිමු.

 

වගාබිමේ පැළක්

 

මහත්තයෝ මම මේ හිස තබාගෙන යන්නේ තක්කාලි මල්ලක්. අනෙක් එළවළු තවලම් වලින් ගෙනිච්චත් තක්කාලි එහෙම ගෙනියන්න බැහැ.
මේ පාරවල් හදල දුන්නනම් ත්‍රිවිලරයකින් හරි මේවා ගෙනියන්න තිබුණා. අනිත් කාරණය තමයි රිළව්, වඳුරෝ, මොනරු අපේ වගාව වනසන නිසා උදේ හයේ ඉඳලා රෑබෝ වෙනතෙක් එළවළු කොටු, කුඹුරු මුරකරන්න වෙලා.
පොඩි දරුවෝ තනියම ගෙදර තියලා යන්න බැරිනිසා ඒගොල්ලන් එක්කම කොටුවලට, කුඹුරුවලට යනවා. එතකොට මේ ළමයින්ගේ ඉස්කෝලෙ වැඩවලට පාඩුවෙනවා යැයි ඇය පැවසුවේ හැඟුම්බරවය.
ඔව් මාමේ දැන් ඉස්කෝලෙ යන්නේ පයින්. පාර හදල දුන්නනම් ත්‍රීවිලර් එකකින් හරි යන්න පුළුවන් යැයි කීවේ පොඩිහාමිනේ සමඟ ගමන් කළ ඇගේ මිනිබිරිය වන 11 හැවිරිදි සත්සරණිය.
තවලම් ගොනුන් දෙදෙනෙක් දක්කාගෙන පල්ලමට බැස්සේ ටී.එම්. විජේරත්න ගොවි මහතාය.
මොනවද මේ තවලම්වල තියෙන්නේ?
බෝංචි. මේ දවස්වල බෝංචි කඩනවා. මේ විදිහට තවලම් වල පටවලා තමයි ගෙදර ගෙනියන්නේ. ලොකු බරක් ගෙනියන්න බැරිනිසා මේ විදියට කීපසැරයක් තවලම ගෙනියන්න ඕනෑ.

ඒක මේ ගොනුන්ටත් අමාරුයි. අපේ කාලයත් මේ වැඩේටම ගත වෙනවා.
කෘෂිමාර්ග හදා දෙනව කියල කලක් කිව්වා. ඒවා ඔක්කොම ඡන්ද පොරොන්දු විතරයි.
මේ අපේ පාරම්පරික ගම්මානයක්.
මගේ තාත්තා, සීයා, මීමුත්තා ඒ වගේ පරම්පරා ගණනාවක් උපන් ගම.
පෘතුගීසින් එළවන්න සටනට ගිය රජවරු හා සේනාව මේ කැලේ මැදින් තමයි ගිහිල්ලා කඳවුරු හදාගෙන පෘතුගීසීන්ට පහර දීලා තියෙන්නේ.
අපේ මුතුන් මිත්තෝ තමයි ඒ සටනට හවුල් වෙලා තියෙන්නේ.
ඒත් තවම අපට සාධාරණයක් වෙලා නැහැ යි විජේරත්න කීවේය.
අතරින් පතර තැනින් තැන කුඩා ගෙවල් දක්නට ලැබුණි. දෙපස වනවදුලින් නැගෙන කුරුලු‍ ගී රාවය සවනට මිහිරියාවක් එක් කළේය. ගමන් විඩාව නිවන්නට කුරුල්ලන් ගී ගැයුවා සේ දැනිණි.

බස්නායක හඬ අවදි කළේය. මේ කැලේ පුරාවට තියෙන්නේ ‍ඖෂධීය පැළ වර්ග, ගස් වර්ග සහ වැල් වර්ග. නෙල්ලි අහුලලා විකුණලා ගමේ සමහරු ආදායම් ගන්නවා. අපි ගල් මැදින් ගලන කුඩා දියපහරකින් එගොඩ වී වගාබිම් දෙසට යන විට දක්නට ලැබුණේ තවත් සංවේදී දසුනකි.
බෝංචි ගෝනි කරතබාගෙන ගෙවිලියෝ පැමිණෙති. ගොවි මහත්තුරු තවලම් ගොනුන් සූදනම් කරමින් සිටිති මෙතැන් සිට ගෙවල් වලට අස්වනු ගෙනියන්නේ මෙලෙසින් තවලම් බැඳි ගොනුන් මගිනි.
සුනිල් දිසානායක, වයිරා ගේ පිටේ තවලම බැන්දේ අප සමඟ කතා කරන ගමන්මය .
මේකා වයිරා, අනෙක් එකා රක්තා. මෙයාලා තමයි මහත්තයෝ අපේ පිහිටට ඉන්නේ.
දැන් මේ බෝංචි ගෝනි පිටේ තියල බැන්දම ඒගොල්ල ගෙදරට ගිහින් දෙනවා හැබැයි. මේ පල්ලම බහින එක උන්ටත් අමාරුයි. බාගෙට කපල තියෙන පාර හැදුනනම් අපට පහසුයි.
ඒක බල්ලකෙටුව ඉඳල, වැල්ලවායට යන්න පුළුවන් කිට්ටු පාරක්. ඒ විතරක් නෙවෙයි නාය යාම් නිසා නිතර වැහෙන ඇල්ල – වැල්ලවාය පාරටත් විකල්පයක්.
කේ.එම්. චාන්දනී (32) ගෙවිලිය ගේ මැසිවිල්ල වඩාත් සංවේදි එකකි.
මහත්තයෝ බෝංචි වගේ එළවළු තවලම් මගින් අරන් ගියත් තක්කාලි, වැටකොලු‍ පතෝල වගේ එළවළු තවලම් මගින් ගෙනියන්න බැහැ කැඩෙනවා. ඒවා අපි කරබරින් හා හිස බරින් තමයි ගෙනියන්නේ. එහෙම නැතිනම් කිලෝ පහ, හය අඩුවෙනවා.
අපට වාරිමාර්ගත් නැහැ මහා මාර්ගත් නැහැ.

 

කෘෂිමාර්ග නැහැ

 

හරිහැටි පාරක් නැති නිසා තවලම් ගොනුන් මගින් හෝ කරබරින් කි.මී. 2ක් විතර ‍අරන් ගියත් එතැන් සිට ත්‍රීවිලරයකින් බණ්ඩාරවෙල පොලට අරන් ගියොත් ප්‍රවාහන ගාස්තුව රුපියල් 2000 ක් විතර යනවා. ඊට පස්සේ ලැබෙන ගාන ගෙදරට එදිනෙදා අත්‍යාවශ්‍ය බඩු ටික ගන්නවත් මදි.
කොතෙක් කම්කටොලු‍ තිබුණද ඔවුන්ගේ සංග්‍රහශීලී සිනාවන් හද සනසන සුලු‍ය. මගින් මගට හමුවූ ගම්වැසියන්ගේ සිනා විඳිමින් දෙබොක්කාවක් පසුකර ඉහළට නැගුණ විට දක්නට ලැබුණේ ඉතා සුන්දර දසුන්ය. හිරු රැසින් නැහැවෙන වෙල්යාය සමූහයකි. කිරිවදින ගොයම මද සුළගේ සැලෙන්නේය.
එහෙත් රිළා, වඳුරු, මොනර උවදුරු මේ වගාවන්ට වින කටින්නේය. මෙම සතුන් එළවා දමන්නට බැඳි ටකය නමින් හඳුන්වන ටින් එකකට ලණුවක් දමා හඬ නංවා අදින ක්‍රමවේදය හැම කුඹුරකම දක්නට ලැබිණ.

ඊට අමතරව හිස් ප්ලාස්ටික් බෝතල් වලින් නිමැවූ සුළං කුරල්ලන්ද දක්නට ලැබිණ.
කුඹුර මුර කරන ගොවි මහත්තුරු දුක කීවේ වන සතුන්ගෙන් වගාව බේරාගැනීමට කරන්නේ යුද්ධයක් බව පවසමිනි.
දැන් අපි ඓතිහාසික සටන් බිම පෙනෙන තෙක් මානයේය. කුඹුරේ බැඳි නියර මතින් විනාඩි 30 ක් පමණ ගමන් කළ විට ඓතිහාසික බළකොටුව හමුවිය.
සතර වටින් පවුරු බැඳ තිබූ බව කියන බළ කොටුවේ කොටු පවුර අදත් දැකිය හැකිය. නමුත් ඉතිරිව ඇත්තේ අඩි 2ක් පමණ උස කොටස පමණි.
මම මේ ගමට ඇවිල්ල පදිංචි වෙනකොටත් මේ බළකොටුව මගේ ඉණ දක්වා උසට තිබුණා. නිදන් හොරු කීපවතාවක් මේක විනාශ කරලා අවසන් වරට කළ විනාශයේදී පුරාවිද්‍යා‍වේ හිටපු මහත්තයෙකුත් සහභාගි වුණා කියල දැනගන්න තියෙනවා යැයි බස්නායක කීවේය.
පෘතුගීසින්ට එරෙහි සටනට පැමිණි සිංහල හමුදාවන් මෙහි බළකොටුවක් පිහිටවූ බව ඉතිහාස කතාවන්හි සඳහන්ය.
බළකොටුවේ නෂ්ටාවශේෂ අතරේ සිට බලන විට කොඩිය කන්ද නමින් හැඳින්වෙන කඳුමුදුන දක්නට ලැබේ.
දැන් අප එම දුෂ්කර ගමන යාමටද සූදානම්ය.

කටු ලැහැබකින් ගමන් කිරීම දුෂ්කර වූවකි. තරමක් පහළට බැස යළි අඩි 40 ක් පමණ ඉහළට නගින විට කොඩි කන්ද මුදුනට යා හැකි විය.
පෘතුගීසීන් පරදවා සමූල ඝාතනයෙන් පසු ජයග්‍රහණයෙන් උදම් වූ සිංහල හමු‍දා මෙහි ඌව වෙල්ලස්ස ධජය එසවූ නිසා එදා සිට මෙම කඳුමුදුන කොඩිය කන්ද වූ බව ජනප්‍රවාදයයි.
අපි කඳුමුදුනට නැග්ගෙමු. මෙම කඳුමුදුනට රන්දෙණිය ගම්මානයේ රන්දෙණිවෙල නම් වූ කුඹුරුයාය දැකිය හැකිය.
රන්දෙණිවෙල සටන නමින් ඉතිහාස ගතවූ සටන සිදුවූයේ මෙම වෙල්යායේදීය.
පෘතුගීසීන් මෙම ස්ථානයට කොටු කරගත්තේ කෙසේදැයි සොයා අපි ඉතිහාසය සිහිපත් කළෙමු.
ඒ ඉතිහාසය මෙසේය.
වසර 1630 අගෝස්තු මස 2 වැනිදා බදුල්ල ආක්‍රමණය සඳහා ගමන් ඇරඹූ පෘතුගීසි හමුදාව හංවැල්ල, අවිස්සාවේල්ල, රත්නපුර, ඉදල්ගස්හින්න, බෙරගල ඔස්සේ ගමන් කර තිබේ. දින 19 කින් පසු බදුල්ලට ළගාවිය. ඒ අගෝස්තු 21 වැනිදාය.
ඒ වන විට යුද උපක්‍රමයක් වශයෙන් නගර වැසියන් නගරය හැර ගොස් තිබිණ.
මුතියංගන විහාරස්ථානයට ළඟාවූ පෘතුගීසි හමුදාව එහි කඳවුරු බැඳගත්හ.

 

 

පෘතුගීසි හමුදාවේ 500 ක් දෙනා කුලියට ගත් කුලී හමුදාවේ 13000 සමඟ එක්ව බදුලු‍ නගරයේ ගොඩනැගිලි කඩා බිඳ දමා ගෙවල් ගිනිබත් කරමින් වටිනා දේපළ කොල්ලකෑහ.
පූජනීය ස්ථානය කඩා රන් රිදී මුතු මැණික් වැනි නිදන් වස්තුද කොල්ලකෑහ. මේ මහා විනාශයෙන් පසු ඔවුහු මුතියංගණයේ කඳවුර වෙත පැමිණියහ.
එහෙත් නගරය හැරදමා ඉවත්වූ සිංහලයෝ ගම් නියම් ගම්වල ජනයා සමඟ එක්වී පෘතුගීසීන් පලවා හැරීමට සංවිධානය වූහ.
පසුදින අලු‍යම් කාලයේ මුතියංගණය වටා කඳුමුදුන් වලින් අඳුරු සෙවණැලි මතුවෙන්නට විය. හිරු කිරණ නිසා සිංහල හමුදා බව හඳුනාගත හැකිවිය.
හැම කඳු මුදුනකින්ම මීදුම මැදින් පහළට බැසගෙන එන සිංහල හමුදාවෝ දක්නට ලැබිණ. කඳවුරේ බියුගල් නාද නිකුත් විය.
පෘතුගීසි හමුදාවෝ අවි අතට ගෙන සීරුවෙන් සිටියහ. ඒ සමඟ කඳවුරට ඊතල ප්‍රහාරයන් දියත් විය.
තත්ත්වය බරපතළ බව වටහාගත් පෘතුගීසි හමුදාව පසුබැස පලායාමට තීරණය ක​ෙළා්ය.
බදුල්ල හැරදා බදුලු නිම්නය ඔස්සේ වැල්ලවාය තැනිතලා ප්‍රදේශයට සේන්දු වී හම්බන්තොටට පිවිස, මුහුදු බඩ මාර්ගයෙන් කොළඹට යාමට ඔවුහු සැලසුම් කළහ..
කණ්ඩායම් අටකට බෙදූ පෘතුගීසි හමුදාවේ අණදෙන්නා ලෙස කපිතාන් කැලිස්ටෝ කටයුතු කළේය. කුලී හමුදාවේ සෙබළු මැනුවෙල් කස්තිනාට භාරවිය.
කණ්ඩායම් අටට පෘතුගීසි හා කුලී හමුදාව අන්තර් ගත කෙරිණ.
ඔවුන් පසුබැස යන ගමන් මගදිගට සිංහල හමුදාවෝ ගස් කපා ගල් ​ෙපරළා අවහිර කර තිබිණ. වරින් වර ඊතල ප්‍රහාරයන් ද දියත් විය. දෙපිරිස අතර ඇතිවූ ගැටුම්වලින් දෙපිරිසටම හානි සිදුවිය.

සී සීකඩ විසිරුණ පෘතුගීසි හමුදාව සහ ඉතිරිවූ කුලී හමුදාව යළි එක්තැන් වී සංවිධානාත්මකව කැලය මැදින් ඉදිරියට ගියහ. දිගින් දිගටම ඊතල ප්‍රහාර දියත්විය.
මේ සියලු‍ අභියෝග හමුවේ වැල්ලවාය සානුවට ළඟාවීමට පෘතුගීසීහු සමත්වූහ.
කිරිඳි ගඟෙන් එගොඩ ​වෙන විට ජලය බොහෝය. බෙල්ල දක්වා දි‍යේ බැස එගොඩවීමට සිදුවිය. දැඩි විඩාවෙන් යුතුව හමුදාව බිම වැතුරුණේය. විදුලි කෙ‍ටුවේය, ධාරානිපාත වැසි පතිත විය. ඔයේ ජලය වැඩිවී පිටාර ගලා ගියේය.
සෙබළුන්ගේ බඩු බාහිරාදිය පමණක් නොව වෙඩි බෙහෙත් හා සේවා නූල්ද තෙත බරිත විය.
පසුපසින් පැමිණි කණ්ඩායමේ පිරිසක් මහ ජල කඳ හරහා ​ෙමගොඩවීමට නොහැකිව ඇතැයි සිතුවද සිදුව තිබුණේ ඔවුන් ඒ වෙන විටත් සිංහල හමුදාවට එකතුවී තිබීමය.
1630 අගෝස්තු මස 24 වනදා වන විට පෘතුගීසි හමුදාවේ ඉතිරිව සිටියේ 450 දෙනෙක් පමණි. කුලී හමුදාවේ බොහෝ දෙනෙක් පලාගොස් තිබිණ .
ඉතිරිවූ සේනාවට යටත්වන ලෙසට, රජතුමා ඌව ධජය සහ සුදු ධජයක් සහිතව පණිවුඩ කරුවෙක් යැවූවද ඔවුන් යටත්වීමට අකමැති විය.
සිංහල හමු‍දාවේ බළකොටුවක්, බල්ලකෙටුව උඩ වාඩියේ පිහිටුවා තිබිණ. මේ වන විට සෙනරත් රජු අසනීප ව සිටි නිසා ඔහුගේ පුතුන් වන කුමාරසිංහ, විජයපාල හා රාජසිංහ යන කුමාරවරු සටන් බිමට පැමිණ සිටියහ.

කුමාරසිංහ කුමරුගේ අභිප්‍රාය වූයේ සේනාධිපතිවරයා සහ ඉතිරිවූ සියලු‍ සෙබළුන් සටනේදීම ඝාතනය කිරීමය. එහෙත් රාජසිංහ කුමරුගේ අදහස වූයේ ඔවුන් පණ පිටින් අල්ලා ගැනීමය. අල්ලා විලංගු දමා ප්‍රදර්ශනය කර ඉන්පසු ඝාතනය කිරීමය. බාලයා වූ විජේපාල කුමරු වැඩිමල් සොයුරු කුමාරසිංහ ගේ තීරණයට එකඟවිය.
ඒ වනවිට වෙඩිබෙහෙත් තෙමී ඇති නමුත් ඒවා වියළා ගත් පසු සිංහල සෙබළු නිකරුණේ මරණයට පත්විය හැකි බව මෙහිදී වටහා ගත්හ.
රාජසිංහ කුමරු පෘතුගීසින් පණ පිටින් අල්ලාගැනීමට තම සේනාවන් මෙහෙයවීය. තැනිතලා බිමට (රන්දෙණිය රන්දෙණිවෙලට) පැමිණි පෘතුගීසිහු තෙත බරිත වූ වෙඩි බෙහෙත් අව්වේ දමා වේළාගැනීමට කටයුතු කරමින් සිටියහ.

 

 

මීදෙණිය නැමති ස්ථානයේ කඳු මුදුනක සිට තම දුනුවායන් මෙහෙයවීමට රාජසිංහ කුමරා කටයුතු කළේය. මෙහිදී උපයෝගී කරගත් උපක්‍රමය වූයේ කරුංකා පුවක් ගෙඩියේ ලෙල්ල කෙදිකර එම පුවක් ගෙඩිය ඊතලයේ රඳවා ගිනි අවුළුවා අව්වේ දැමූ වෙඩි බෙහෙත් වෙත යැවීමය. එසැණින් ගිනි ජාලා මතුකරමින් මහ හඬ නගමින් පෘතුගීසීන්ගේ වෙඩි බෙහෙත් විනාශ විය.
ඉක්බිති සිංහල හමුදාවෝ රන්දෙණිවෙලට කඩාවැදී මුහුණට මුහුණ සටන පටන්ගත්හ.
පෘතුගීසීන් හෙල්ල හා පළිහ භාවිතයේ රුසියන් වූ බැවින් සිංහල හමුදාවේ පිරිසක් ද මෙහිදී මරණයට පත්වූහ.
කෙසේ නමුත් දින දෙකක් පුරා පැවති මේ මහා සටනේදී පෘතුගීසි හමුදාවේ හේවායන් සිය දෙනෙක් හා කුලී හමුදාවේ 60 දෙනෙක් පණ පිටින් අල්ලා ගැනීමට සිංහල හමුදාවෝ සමත්වූහ.

අවසානය දක්වා ම සටන්කළ කැප්ටන් ජෙනරාල් කොන්ස්ටන්ටයින් සූසා මෙම සටනේදී මරණයට පත්විය. පෙරදිගදී ඝාතනයට ලක්වූ ප්‍රථම උසස්ම පෘතුගීසි නිලධාරියා ලෙස සැලකෙන්නේද මෙම කපිතාන් ජෙනරාල්වරයාය.
ඒ ​​ඓතිහාසික සටන සිදුවූ රන්දෙණිවෙල ඉතා සශ්‍රීක කුඹුරු යායක් ලෙස අදටත් දිස්වෙන අයුරු කොඩිය කන්දේ සිට දැකගත හැකි විය .
එපමණක් නොව අල්ලා ප්‍රදර්ශනයකර මරා දැමූ පෘතුගීසි හමුදාවේ සහ කුලී හමුදාවේ අය ගේ මිනී ගොඩගසා විනාශ කළ වෙල්යාය මිනීකඳවෙල ලෙස එදා හැඳින්වුවද අද හැඳින්වෙන්නේ මීකඳවෙල නමිනි.
මෙම ඓතිහාසික ප්‍රදේශයන් ජාතියේ අනුස්මරණීය ඉසව්වන් බව සාක්කි සහිතව ඉරිදා ලංකාදීපයේ අපි දැන් පෙන්වා දුනිමු.
මෙම ගම්මානවල වත්මනේ ජීවත්වෙන පාරම්පරික ජනයාගේ මාර්ග අපහසුතාව පිළිබඳව ද පෙන්වා දුනිමු.
මෙම ඉසව්ව අපේ අභිමානය විදේශීය සංචාරකයන්ට පෙන්වා දෙන සංරක්ෂිත ඉසව්වක් බවට පත්කළ හොත් ගම්වැසියනට අමතර ආදායම් මාර්ග වලට දොරගුලු විවර කළ හැකිය.

රජයේ වගකිව යුත්තන්ගේ අවධානය මේ සියලු‍ කරුණු කෙරෙහි යොමුකළ යුතුය. එය ජාතික වගකීමකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button