BREAKING NEWSPOLITICS

යුගදනව් බලාගාර ආයෝජනය – පක්ෂ නායකයන් අතර එකඟතාවයක්!

කෙරවළපිටිය යුගදනව් බලාගාරයේ භාවිතා වන තාක්ෂණය වැඩි දියුණු කරමින්, එහි ධාරිතාවය වැඩි දියුණු කිරීමට සිදු කෙරෙන ආයෝජනයට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන් අතර එකඟතාවයක් ගොඩනැගී තිබේ.

ලොව දියුණුතම තාක්ෂණය සහිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් මේ සඳහා රජය සමග අත්වැල් බැඳගෙන සිටියි. මෙහිදී බලාගාරයේ භාවිතා කරන තාක්ෂණය නවීන ඇමෙරිකානු පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයක් දක්වා වැඩි දියුණු කිරීමත්, එහි ධාරිතාව වැඩි කිරීමත් සිදුවේ.

දේශගුණ විපර්යාසය සහ අහිතකර සෞඛ්‍ය බලපෑම් හේතුවෙන් මුලු ලොවම දැන් පුනර්ජනනීය බලශක්ති කරා යොමු වන අතර, යුගදනව් බලාගාරයේත් සිදුවන ප්‍රතිසංස්කරණයත් එවැන්නකි.

මේ පිළිබඳව අදහස් දක්වන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවත් වහාම පුනර්ජනනීය බලශක්ති කරා ජාතියක් ලෙස යොමුවිය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවට නොමැති නම් විදෙස් ආයෝජන කරා යොමුවිය යුතු බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ යුගදනව් බලාගාරායේ සිදුවන ආයෝජනයට තමන් කැබිනට් මණ්ඩලයේදීත් සහය ලබා දුන් බවයි. මෙහිදී ආයෝජනය සම්පූර්ණයෙන්ම දරන්නේ ඇමෙරිකානු සමාගම වුවත්, ලාභයෙන් 40%ක් පමණ රජයට හිමිවී, වසර 15කට පසුව සම්පූර්ණයෙන්ම ආදායම රටට හිමිවන ව්‍යාපෘතියක් නිසා තමන් මේ සඳහා සහය ලබා දෙන බවත් ඒ මහතා පවසනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරන්නේ යුගදනව් බලාගාරය වැඩි දියුණු කිරීම පිළිබඳව විශේෂඥ මතය අනුව කටයුතු කළ යුතු බවයි. ක්ෂේත්‍රයේ විශේෂඥ මතය බලාගාරයේ තාක්ෂණය වැඩි දියුණු කිරීම නම් ඒ අනුව කටයුතු කිරීම උචිත බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.

මේ අනුව යුගදනව් බලාගාරයේ ආයෝජනය පිළිබඳව ආණ්ඩු පක්ෂ නායකයන් අතර එකඟතාවයක් ගොඩනැගී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button