රට පුරා හෙද සංගම් යළිත් වර්ජනයකට සැරසෙයි..

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස මුලදී අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.
අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තිය සමිති 16ක් සහභාගී වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසුවේය.
“මාණ්ඩලික සේවා තත්ත්වය, ඒ වගේම උසස්වීම් චක්‍රලේඛය නිකුත් කිරීම, දින සංශෝධනය කිරීම ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීයවේදීන්ට විශේෂ දීමනාවක් දුන්නා. ඒ දීමනාව වර්තමානයේ ගැළපෙන ආකාරයට සංශෝධනය කිරීම වැනි ඉල්ලීම් වහාම ක්‍රියාත්මක කළ යුතුයි කියන බලපෑම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කරනවා. ඉතින් මේක අපි දිගින් දිගටම කරා උත්තරයක් නෑ. අවසාන වතාවට අපි මේ මාසේ 18 වෙනිදා සෞඛ්‍ය ඇමතිවරයාට ලිපියක් ලිව්වා සතියක් ඇතුළත අපිට උත්තරයක් දෙන්න නැත්නම් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා කියලා. නමුත් අද වෙනකොට සාකච්ඡාවක් හෝ ලිපියට පිළිතුරක් හෝ ලබාදීලා නෑ. ඉදිරි සතිය තුළ නිශ්චිත විසඳුමක් මේ ප්‍රශ්නයට නැත්නම් නොවැම්බර් 9 වෙනිදා වෘත්තීයවේදීන් නියෝජනය කරන ආසන්න වශයෙන් සංගම් 15කට වැඩි ගණනාවක් එකතුවෙලා සංකේත වැඩවර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුවට වගකීමක් තියෙනවා සෞඛ්‍ය ඇමතිවරයාට වගකීමක් තියෙනවා මේ ප්‍රශ්න ඉදිරි සතිය තුළ විසඳන්න. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ලබන 9 වෙනිදා වෘත්තීය ක්‍රියාමාර්ගය අපිට ගන්න වෙනවා.”
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, පෞද්ගලික පරමාර්ථ සපුරා ගැනීම සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ නොවන බවය.