නිහාල් කැප්පෙටිපොළ වරාය අධිකාරියේ සභාපති ධුරයට

වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස කපිතාන් නිහාල් කැප්පෙටිපොළ පත් කර තිබෙනවා.
ඒ අනුව, මෙතෙක් එම ධුරයේ කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක විමල් වීරවංශ අමාත්‍ය ධුරය දරණ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයෙකු ද වන අනුෂ පැල්පිට මේ දක්වා එම ලේකම් ධුරය දැරූ අතර, තමන්ට ධුරයෙන් විශ්‍රාම යාමට අවසර ඉල්ලා ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබූ බවයි වාර්තා වුණේ.
වරාය අධිකාරියේ නව සභාපති ලෙසට පත්වූ නිහාල් කැප්පෙටිපොළ ධර්මරාජයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන අතර 70 දශකයේ කැඩෙට් නිලධාරියෙකු ලෙස වෙළඳ නාවික ක්ශ්‍රේත්‍රයට එක්ව තිබෙනවා.
ඔහු වසර 15ක් ලංකා නැව් සංස්ථාවේ සේවය කර ඇති අතර අනතුරුව විදේශීය නෞකා සමාගම්වලද සේවය කර තිබෙනවා.
පළපුරුදු කපිතාන්වරයෙකු ලෙස 90 දශකයේ මුල්භාගයේදී මුහුදු ගමනින් ඉවත් වී නියමුවෙකු (Pilot) ලෙස වරාය අධිකාරියට එක් වූ නිහාල් කැප්පෙටිපොල 1999 වසරේදී කොළඹ වරායේ නියෝජ්‍ය හාබර් මාස්ටර් ලෙස ද පත්වනවා.
කෙටි කාලයකට පසු කොළඹ වරායේ හාබර් මාස්ටර් (Harbour Master) ලෙස ද පත්වන ඔහු පසුව වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්යක්ෂ සහ කළමණාකාර අධ්යක්ෂ යන තනතුරු ද හොබවා තිබෙනවා.