BREAKING NEWSEXCLUSIVEPOLITICS

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබා ගැනීමට ජාත්‍යන්තර නීතිඥ සහය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර නීතිඥ සමාගමක සහය ලබා ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ එයින් සිදුවූ හානිය හා ඊට අදාළ වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාලව පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අධිකරණ අමාත්‍යාංශයේදී අද රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වූ බලපෑම මත බටහිර වෙරළ තීරයේ ධීවර ජනතාවට මෙන්ම, සමුද්‍ර ජීවින්ට හා වෙරළ තීරයට ද දැඩි බලපෑම් එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද රැස්වූ අතර, ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම, සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියා.

මේ අතර, වානිජ නෞකාවකට තෙල් සපයමින් සිටියදී හම්බන්තොට වරායේ ඇති වූ තෙල් කාන්දුවක් කඩිනමින් පාලනය කිරීමට සියලු පියවර ගෙන ඇති බව එහි ප්‍රධාන විධායක රවී ජයවික්‍රම ප්‍රකාශ කළා.

තෙල් බත්තලක් මගින් නෞකාවට ඉන්ධන සැපයීමේදී ඊයේ පස්වරු 6 ට පමණ ඇති වූ මෙම සිද්ධිය පිලිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ද දැනුම් දී තිබෙනවා.

තෙල් කාන්දුව වැළැක්වීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, හදිසි ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාවට නැංවීමෙන් එය පැතිරීම වළක්වා සමුද්‍ර දූෂණය අවම කිරීමට පියවර ගැණුනා.

වරාය අවට මුහුදේ තිබෙන තෙල් පැල්ලම ඉවත් කිරීමේ මෙහෙයුම ඉදිරි දින කිහිපය තුල අවසන් කිරීමට හැකිවනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රවී ජයවික්‍රම කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button