BREAKING NEWSEXCLUSIVE

“එක්ස්ප්‍රස් පර්ල්” වෙත නිරීක්ෂණ කණ්ඩායම්..

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදු බත් වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ වර්තමාන තත්ත්වය තක්සේරු කිරීම සඳහා ගලවා ගැනීමේ සමාගමේ නිලධාරීන් පිරිසක් එම නෞකාව සමීපයට ගොස් තිබෙනවා.

ඔවුන්ට ඒ සඳහා නැව ආසන්නයට යාමට අවශ්‍ය සහාය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දක්වා තිබෙනවා.

එසේම ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් අදාළ මුහුදු ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

9 දෙනෙකුගෙන් යුත් කිමිදුම් කණ්ඩායමක් මෙලෙස පිටත්ව ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

නෞකාවේ බඳෙහි කිසියම් පිපිරීමක් හෝ තෙල් කාන්දු තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම මෙම කිමිදුම් කණ්ඩායමේ ප්‍රධාන අරමුණය.

කෙසේවෙතත් නෞකාවෙන් මේ දක්වාත් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති බව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පවසයි.

මෙම නෞකාවේ ඉන්ධන මෙට්‍රික්ටොන් 300 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සඳහන් වේ.

පවතින තත්ත්වය හමුවේ කිසියම් ආකාරයකට තෙල් කාන්දු තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම කාර්යාලය සඳහන් කරයි.

මේ අතර කිසිදු ආකාරයක තෙල් කාන්දුවක් හෝ පරිසර හානියකින් තොරව නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන ලෙස එම සමාගමේ ප්‍රධානියාට දැනුම්දුන් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනි ලහදපුර මහත්මිය පැවසුවාය.

මෙම නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ,

“නෞකාවේ කපිතාන්වරයා, ඉන්ජිනේරුවරයා සහ නියෝජ්‍ය ඉංජිනේරුවරයාට මෙරටින් බැහැරවීමට තහනමක් ලබා ගත්තා. ඊට අමතරව ඊයේ දිනයේදී අධිකරණය මගින් එහි ඉතිරි 22 දෙදෙනා වෙනත් මෙරටින් බැහැරට යෑම වළක්වමින් නියෝගයක් ලබාගනු ලැබුවා. නෞකාවට භාණ්ඩ පැටවීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ප්‍රධාන නිලධාරීන් දෙදෙනාගේ ප්‍රකාශ අද දිනයේදී ලබා ගැනීමට නියමිතයි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් චීන ජාතිකයෙක්. අනෙක් පුද්ගලයා ඉන්දියානු ජාතිකයෙක්,” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button