BREAKING NEWSEXCLUSIVE

සහන සලසන ජංගම සේවා අද සිට

මේ දිනවලදී අධිකරණ ඇමැතිවරයා සහ විදේශ ඇමැතිවරයා රාජ්‍ය නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වන ගැටලු පිළිබඳ සාකච්ඡා කර ඒවාට විසඳුම් දීම සිදු කෙරේ.අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් ජනතාවට සහන සැලසීම සහ ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමවේද පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම අරමුණු කර ගනිමින් උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05ක ජංගම සේවාවන් අද (26) සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන බව අධිකරණ ඇමැති එම්. යූ.එම්.අලි සබ්රි මහතා අවධාරණය කරයි.මෙහිදී නීති ආධාර කොමිසම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය එක්ව ඕනෑම පුද්ගලයකුට ඇති නීතිමය ගැටලු විසඳා ගැනීමට නීති ආධාර සායනයක්ද පැවැත්වේ. එයට අමතරව හානිපූරණ කාර්යාලය මඟින් එම දිස්ත්‍රික්කවල පරීක්ෂණ අවසන් වී ඇති පුද්ගලයන් සඳහා වන්දි ප්‍රදානය කිරීමද මෙයට සමගාමීව සිදු කරන බව ඇමැතිවරයා කියා සිටියේය.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (25) අධිකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ඒ අනුව උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ අද (26), මන්නාරම දිස්ත්‍රික්කයේ 27 දා, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 28 දා, මුලතිව් දිස්ත්‍රික්කයේ 29 දා, යාපනය දිස්ත්‍රික්කයේ 29 සහ 30 යන දිනවල මේ ජංගම සේවා පැවැත්වේ.
උතුරු පළාතේ ජනතාවගේ සාමය සහ සංහිඳියාවට අඩිතාලම දැමීම අරමුණු කර ගනිමින් තරුණ පිරිසගේ ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් විවෘත සංවාදයක් පැවැත්වීම, විශේෂ සමථ මණ්ඩල සහ ණය සහන මණ්ඩලය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙන්ම නව ක්‍රමවේදයන් ඔස්සේ ජනතාවගේ නීතිමය ගැටලු විසඳීම මෙන්ම නීතියේ පාලනය පිළිබඳ ජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම, ජනතාවට අධිකරණයට නොගොස් සහන සැලසීම ජංගම සේවාවන් පැවැත්වීමේ අරමුණු අතර වේ.
මේ ආකාරයෙන් ඉදිරියේදී මුළු දිවයින ආවරණය වන පරිදි අනෙක් පළාත්වලද මෙවැනි ජංගම සේවාවන් සිදු කරන බව අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය, ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව, රැකියා මාර්ගෝපදේශයන් පිළිබඳ නිලධාරීන්ද මේ ජංගම සේවාවන් සමඟ සම්බන්ධ වී ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීම සිදු කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button