පිස්තෝල ගෙනැවිත් ඇත්තේ කුඩු සමග තෑගී කිරීමටයි – සිරගතව සිටිනා මාකඳුරේ මධූෂ් පොලීසියත් මවිත කරවයි

පසුගියදා බණ්ඩාරගම ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් පිස්තෝල දහය නව පාතාල කල්ලියක් ස්ථාපිත කිරීම සඳහා සහ හෙරොයින් තොග පිටින් මිලදී ගන්නා ව්‍යාපාරිකයන්ට ත්‍යාග ලෙස ලබාදීමට මාකඳුරේ මධූෂ් විසින් රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරනවා.
බණ්ඩාරගම නිවසක සගවා තිබූ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 192 ක් සහ අවි ආයුධ තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 30 වැනිදායි.
බණ්ඩාරගමදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගය සහ අවි ආයුධ ඇෆ්ගනිස්තානයේ සිට මෙරටට ගෙන ඒම පිටුපස සිටින බවට සැකකරන පාතාල නායක මාකඳුරේ මධුෂ්ගෙන් සහ ඔහුගේ ප්‍රධානම සගයා වන කැලූම් ඉන්දික නොහොත් කැවුමාගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කරමින් සිටියි.
මාකඳුරේ මධුෂ් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අතර කැලූම් ඉන්දික හෙවත් කැවුමා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බව පොලිසිය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රැකවල් මත සිටිද්දී මාකඳුරේ මධුෂ් මෙවැනි ජාවාරමකට සම්බන්ධ වන්නේ කෙසේද යන්න විශාල ගැටලූවක් බවද පොලිසිය පවසනවා.