CRICKETSPORTS

කලකට පසු සිංහයන්ගෙන් සුපිරි ජයක් – කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට පූර්ණ තරඟාවලි ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය අද (1) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක් හිමිකර දෙමිනි.

එම තරගයේ දී නැවතත් සිය සුපුරුදු තුන් ඉරියව් දස්කම් අතරට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් වසර 4 1/2කට ආසන්න කාලයකට පසුව එක්දින තරග බිමේ පන්දුවාර 10ම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වන අතර එහි දී ලකුණු 59ක් තුල කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නේ තරගයේ වීරයා බවට පත්වෙමිනි.

තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුවත් මේ තරගය ද ලෙහෙසියෙන් තැකීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූයේ මෙම තරගය පරාජය වුවහොත් ICC ශ්‍රේණිගත කිරීම් හි 8 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදු වන නිසාවෙනි.

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය පුරාවටම එකම ක්‍රීඩකයින් 11ක් යොදාගෙන තරග වැදීම කැපී පෙනුණ අතර මේ තරගයේ දීත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු වූයේ නැත. නමුත් කොදෙව් කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කරමින් කීමෝ පෝල් වෙනුවට හේඩන් වොල්ශ් කණ්ඩායමට කැඳවා තිබුණි.

වමතින් වේගපන්දු යවන ශෙල්ඩන් කෝට්‍රල් ඉතාමත් හොඳ ආරම්භයක් කොදෙව් කණ්ඩායමට ලබා දුන් නමුත් කරුණාරත්න සමඟ එක්වූ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා ඉතාමත් සාර්ථක සහ වේගවත් ලකුණු 61ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

4 පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු සහ ලකුණු 44ක් ලබා සිටි දිමුත් කරුණාරත්න යන දෙදෙනාම ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 2 ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. අනතුරුව පිටියට පැමිණි කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ තවදුරටත් සවිමත් කරමින් තෙවැනි කඩුල්ල සඳහා අගනා ලකුණු 89ක සබඳතාවයක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවය වාර්තා කරමිනි.

කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 17 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් නැවතත් සුපුරුදු රිද්මයට පිවිස තිබෙනු දක්නට ලැබුණු අතර පසුගිය තරගයේ ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වූ කුසල් පෙරේරා 4 පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ අල්සාරි ජෝසප් එවූ පන්දුවක් හමුවේ ශායි හෝප් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකා ලකුණු සටහනේ වාර්තා වූ දෙවන අර්ධ ශතකයේ හිමිකරු වූ ධනංජය ද සිල්වා ක්‍රමවත්ව ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරගනිමින් කොදෙව් පන්දු යවන්නන් ක්‍රියාත්මක කළ දුර්වල පන්දු හමුවේ සිය පිත්ත ක්‍රියාත්මක කරමින් සාර්ථකව පිතිකරණයේ නිතර විය. ධනංජය සිය 5 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කර ගත් ඉනිම සඳහා පන්දු 47ක දී ලකුණු 51ක් ලබා ගත්තේ 4 පහර 5ක් සමඟිනි.

තිසර සහ ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල සඳහා සාර්ථක ලකුණු 64ක සබඳතාවයක් ගොඩනංවාලමින් ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණියේ සවිමත් බව ඉතාමත් හොඳින් පෙන්නුම් කළේය. අද තරගයේ ශ්‍රී ලංකා ලකුණු සටහන බැලීමේ දී සෑම පිතිකරුවෙක්ම ලකුණු අතරට පැමිණීම සතුටට කරුණකි.

තිසර පෙරේරා, වනිඳු හසරංග ශ්‍රී ලංකා පසුපෙළ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරමින් කොදෙව් පන්දු යවන්නට වැඩි වේගයකින් පන්දුවට පහර දුන් අතර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 307ක් වාර්තා කරගන්නා ලදි. තිසර පන්දු 31ක දී ලකුණු 38ක් ලබා ගන්නා විට, වනිඳු පන්දු 9ක දී ලකුණු 16ක් ලබා ගත්තේ එක් 6 පහරක් සහ 4 පහරක් සමඟිනි.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 65කට කඩුලු 4ක් දවා ගත්තේ තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කඩුලු 10ක් දවාලමිනි. ඊට අමතරව ජේසන් හෝල්ඩර් කඩුලු 2ක් තමන් සතු කරගත්තේය.

ලකුණු 308ක හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරුවන් යුගලය වූ සුනිල් ඇම්බ්‍රයිස් සහ ශායි හෝප් පළමු කඩුල්ල සඳහා ලකුණු 111ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් ඉතාමත් සාර්ථක අඩිතාලමක් ඔවුන්ගේ කණ්ඩායමට සකස් කර දෙන ලදි.

කොදෙව් ලකුණු සටහන ලකුණු 111ක් ලෙස දැක්වෙද්දී සිය දෙවන එක්දින අර්ධ ශතකය වාර්තා කර ගත් ඇම්බ්‍රයිස්ගේ කඩුල්ල දවා ගැනීමට දකුණතින් පා දඟපන්දු යවන හසරංග සමත් විය.

4 පහර 6ක් සහ එක් 6 පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත් ඇම්බ්‍රයිස්ට අමතරව හෝප් 4 පහර 6ක් එල්ල කරමින් ලකුණු 72ක් වාර්තා කරගෙන කොදෙව් ඉනිම සවිමත් කළේ පළමු එක්දින තරග දෙකට සාපේක්ෂව පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවට යම් අභියෝගයක් එල්ල කරමිනි.

පළමු තරග දෙකේ මෙන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හට කොදෙව් පිතිකරුවන්ව පාලනය කිරීමට හැකියාව නොලැබුණු අතර කොදෙව් පිතිකරුවෝ පන්දු තෝරා බේරාගනිමින් සිය පිතිකරණ රටාව දියත් කරන ලදි. තෙවැනි කඩුල්ල සඳහා පූරන් සහ පොලාර්ඩ් ගොඩනැංවූ ලකුණු 47 සබඳතාවයට තිත තබමින් පූරන් දැවී ගියේය.

කොදෙව්වන් අවසන් පන්දුව දක්වා සටන් කළ අතර නායක පොලාර්ඩ් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් ලබා දෙමින් කොදෙව් ලකුණු සටහන සවිමත් කළ නමුත් ලකුණු 49ක් ලබාගෙන සිටිය දී මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඕන් කලාපයේ සිටි උදාන වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යන ලදි.

ෆේබියන් ඇලන් අවසන් පන්දුවාර දෙක තුල යම් ප්‍රහාරයක් දියත් කරමින් තරගය කණපිට හැරවීමට වෑයම් කළ නමුත් ඔහුගේ උත්සාහය අපතේ ගියේ ශ්‍රී ලංකා පන්දු රැකීම ඉහල මට්ටමක තිබූ නිසාවෙනි. අවසානයේ ශ්‍රී ලංකාව මේ තරගය ද ලකුණු 6කින් ජය ගත්තේ අවසන් වරට ශ්‍රී  එක්දින තරග 7ම ජය ගනිමිනි.

තරගයේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස් 

තරගාවලියේ වීරයා – වනිඳු හසරංග 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button