සජිත්ගේ හා රනිල්ගේ පක්ෂ දෙකෙන්ම මැතිවරණයට නෑ – කරූ සමුගනී ?

හිටපු කතානායක කරූ ජයසූරිය මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවීමත්, එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය පක්ෂ දෙකෙහිම ජාතික ලයිස්තුවට ඇතුලත් නොවීමත් කතාබහට ලක්ව තිබේ.
මේ පිළිබඳව පැහැදිලි කරමින් කරූ ජයසූරිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය පහතින්,
ප්රවෘත්ති නිවේදනය
ඉදිරි මහ මැතිවරණය සඳහා වන ඒ ඒ පක්ෂවල නාම යෝජනා එළිදක්වා ඇති මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය තුළින් තරඟ කිරිමට හෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස මාගේ නම ඇතුළත් කිරිමට කටයුතු කර නොමැති වීම පිළිබඳව ගෞරවනීය ආගමික නායකයන්, මාධ්‍යවේදීන් හා වෙනත් අය විමසිලිවත්ව තිබේ.
ඉහත දෙපාර්ශවය එකම තැනකට ගෙනැවිත් එක්සත් ජාතික පක්ෂය සමඟි කරවීම සඳහා මාවිසින් මහත් වෙහෙසක් දරමින් දිගින් දිගටම උත්සහ කළෙමි. මාගේ දේශපාලන දිවිය කැපකර දරණ ලද එම ප්රයත්නයේදී දෙපාර්ශවය සමඟි නොවුවහොත් කිසිදු පාර්ශවයකට සහය නොදෙන බව මා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෙමි.
නමුත් එම සියලු උත්සාහයන් මේ මොහොත වන විට ඵල රහිත වී තිබිම ඉමහත් සිත් වේදනාවට හේතුවකි. මෙම තත්වය තුළ කිසිදු පාර්ශවයකින් තරඟ කිරිමට හෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවීමට මා තීරණය කළෙමි.
කෙසේ වෙතත් ඒ ඒ පාර්ශවයන්ගෙන් තරඟ කරන ලෙස හෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන මෙන් අවස්ථා ගණනාවකදී මාගෙන් ඉල්ලා සිටි දෙපාර්ශවයේම පිරිස් වෙත මාගේ කෘතඥතාවය පළ කරමි.
මේ මොහොතේ රට තුළ උද්ගතව ඇති අයහපත් තත්වය ඉක්මණින් පහව ගොස් සෑම අතින්ම සුරක්ෂිත රටක් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉඩ සැලසේවා’යි ප්‍රාර්ථනා කරමි.
කරු ජයසුරිය