BREAKING NEWSEXCLUSIVE

“පාර්ලිමේන්තු පනතකින් අරමුදල සම්මතයි, මැදපෙරදිග රටවලින් සල්ලි ගලා එනවා” ජමාතේ ඉස්ලාම් නායකයා රහස් රැසක් හෙළිකරයි

ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ රාෂිඩ් හජ්සුල් අක්බර්, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරනා ජනාධිපති කොමිසමට සාක්ෂි දීමට ඊයේ (11) පැමිණියා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ අබ්දුල් සාදික් අන්තවාදී මත ප්‍රචාරය කිරීමට කටයුතු කරන බව තමා බුද්ධි අංශයේ නිලධාරීන් දැනුවත් කළයි.

ඔහු මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ සාදික් අබ්දුල්ලා හා ෂාහිඩ් අබ්දුල්ලාගේ පියා වන රාෂිඩ් මොහොමඩ් ඉබ්‍රහීම්ගේ සහෝදරයායි.

බේරුවල සලීමියා මද්‍රසා විශ්වවිද්‍යාලයේ වසර 7ක කාලයක් තමා අරාබි භාෂාව ඉගෙන ගත් බවත්, ඉන් පසු මවුලවිවරයකු වශයෙන් කටයුතු කළ බවත් ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

පසුව ඔහු ගුරුවරයකු ලෙස හලාවත මාදම්පේ ඉස්ලාහියා අරාබි මුද්‍රසා පාසලේ කටයුතු කළ බවටද කොමිසමේදී අනාවරණය වුණා.

එසේම එම පාසලේ කලින් සිටි විදුල්පතිවරයා රටේ නීතිය අවශ්‍ය නොමැති බවත්, ෂරියා නීතියට ගරු කළ යුතු බවටත්, ප්‍රකාශ කිරීම නිසා හා සිසුන්ට දේශනා පැවැත්වීම නිසා එම ධුරයෙන් ඉවත් කළ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එම විදුහල්පතිගේ නම අබ්දුල් ගෆුර් මොහොමඩ් නදීර් බවද හෙළි වුණා.

මෙහිදී රජයේ නීතිඥවරිය ජමාතේ ඉස්ලාමියා සංවිධානය පිළිබඳ දිගින් දිගටම රාෂිඩ් හජ්සුල්ගෙන් සාක්ෂි විමසා සිටියා.

රජයේ නීතිඥවරිය- ජමාතේ ඉස්ලාමිය සංවිධානය මොකටද ආරම්භ වුණේ?

රාෂිඩ් හජ්සුල් – තමිල්නාඩුවෙන් මෙහෙට පැමිණි බිස්නස් කරපු අය මේක ආරම්භ කළා.

රජයේ නීතිඥවරිය – මෙවැනි සංවිධාන බිහිවෙලා මොකද කළේ?

සාක්ෂිකරු – සමාජ සේවය කිරීම මූලික අරමුණ

රජයේ නීතිඥවරිය- ෂරියා නීතිය අරාබි පාසල්වල උගන්වනවද?

සාක්ෂිකරු- ඔව්

රජයේ නීතිඥවරිය- අරාබි පාසල්වල උගන්වන්නේ ෂරියා නීතියද?

සාක්ෂිකරු – ඔව්. සම්පූර්ණයෙන්ම මද්‍රසා පාසල්වල උගන්වන්නේ ෂරියා නීතිය

රජයේ නීතිඥවරිය – අබ්දුල් ගෆූර් මොහොමඩ් නදීර් අනුගමනය කළ පිරිසක් හිටියද? කොහෙද ඒ අය හිටියෙ?

සාක්ෂිකරු – පුත්තලම හල්පිය පාර් ගමක.

රජයේ නීතිඥවරිය – ඒ කණ්ඩායම හඳුවන්නේ කොහොමද?

සාක්ෂිකරු – ඒ කණ්ඩායම හැදිලා නමක් තියාගත්තද කියලා මතක නෑ.

රජයේ නීතිඥවරිය – මද්‍රසා පාසල් කීයක් විතර තියෙනද ලංකාවේ?

සාක්ෂිකරු – මාදම්පේ, පුත්තලම, මාවනැල්ල, කල්කුඩා, කින්නියා වගේ ප්‍රදේශවල අටක් නවයක් පාසල් තියෙනවා.

රජයේ නීතිඥවරිය – ජමාතේ ඉස්ලාමීයා සංවිධානයේ කොච්චර කාලයක් කටයුතු කළාද?

සාක්ෂිකරු – 1994 සිට 2018 දක්වා අවුරුදු 24ක කාලයක් නායකයා ලෙස කටයුතු කළා.

රජයේ නීතිඥවරිය – 2018 වර්ෂයේ එම සංවිධානයේ නායකත්වයෙන් අයින් වුණේ ඇයි?

සාක්ෂිකරු – දෙසැරයක් නායකයා වෙන්න බෑ කියලා ව්‍යවස්ථාවක් ගෙනාවා. ඒ නිසා 2018 අගෝස්තු මාසයේ ඉවත් වුණා.

රජයේ නීතිඥවරිය – ජමාතේ ඉස්ලාමියා සංවිධානයට පිටරටවලින් මුදල් ලැබුණද?

සාක්ෂිකරු – කුවෙට් රටේ අර්ධ රාජ්‍ය සංවිධානයකින් සහ ඇමෙරිකාවේ හෙල්පින් හෑන්ඩ් සහ කැනඩාවෙන් මුදල් ලබාදුන්නා. මෙහිදී රජයේ නීතිඥවරිය විමසා සිටියේ මේ මුදල් ලැබෙන ආකාරය පිළිබඳ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය දැනුවත්ද යන්නයි.

සාක්ෂිකරු පැවසුවේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය නොදැනුවත්ව එම ආයතන සමග ජමාතේ ඉස්ලාමියා සංවිධානය ගිවිසුම් අත්සන් කර ඇති බවයි.

රජයේ නීතිඥවරිය – ජමාතේ ඉස්ලාමියා සංවිධානයට පෞද්ගලිකව මුදල් ලබාදුන් අය හිටියද?

සාක්ෂිකරු – මැදපෙරදිග රටවල්වලින් මුදල් ලැබුණා.

මෙහිදී කොමිසම තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සාක්ෂිකරුගෙන් විමසූ අතර සාක්ෂිකරු මාධ්‍ය ඉදිරියේ එය පැවසීමට නොහැකි බව ප්‍රකාශ කළේය.

ඒ අනුව මාධ්‍ය සභාවෙන් ඉවත් කොට සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කටයුතු කරන ලදී.

රජයේ නීතිඥවරිය – මල්ලිගේ පුතා වන සාද්කි අල්හක් පුහුණුවක් සඳහා තුර්කියට යැව්වද?

සාක්ෂිකරු – 2014 ජනවාරි මාසයේ සාදික් මාස තුනකට තුර්කි භාෂාව ඉගෙන ගන්න ඕන කියලා තුර්කියට ගියා. මාස 4ක විතර කාලයක් ඉඳලා යළි ආවා.

රජයේ නීතිඥවරිය – ශ්‍රී ලංකා, ඉස්ලාමිය සංවිධානයෙන් සාදික් ඉවත් කිරීමට හේතු වුණේ ඇයි?

සාක්ෂිකරු – ශ්‍රී ලංකා ඉස්ලාමියා ශිෂ්‍ය සංවිධානයේ වෙනත් සංවිධානයක් පිහිටුවීමට සාදික් කටයුතු කළ නිසා ශිෂ්‍ය සංවිධානයෙන් නෙරපුවා.

රජයේ නීතිඥවරිය – ශ්‍රී ලංකා ඉස්ලාමියා ශිෂ්‍ය සංවිධානයේ ‘සාදික්’ ඉදිරිපත් කළ වෙනත් මතවාද මොනවාද?

සාක්ෂිකරු – අලුත්ගම සිද්ධිය පදනම් කරගෙන ඔහු කිව්වා මුස්ලිම් ජනතාවට හානියක් සිදුවුණොත් ඉවසෙගන ඉන්න බැහැ අපිත්, බනින්න ගහන්න ඕන කියලා කෝප ප්‍රකාශයක් කළා.

රජයේ නීතිඥවරිය – ජමාතේ ඉස්ලාමියා සංවිධානය මේ ගැන පොලිසිය දැනුවත් කළාද?

සාක්ෂිකරු – බුද්ධි අංශයේ මහත්වරුන් දැනුවත් කළ සාදික් තරුණයන් එකතු කරගෙන මෙවැනි ප්‍රචාර සිදුකරන බව.

රජයේ නීතිඥවරිය – සාදික් ගැන වගේම ඔහුගේ අනුගාමිකයන් ගැන තොරතුරු දැනගෙන හිටියද?

සාක්ෂිකරු – මම දැනගෙන හිටියේ නැහැ. මගේ දැනුම අනුව සාදික් තමයි මේක පටන් ගත්තේ. සාදික් රහසේ තමයි මේ වැඩේ කරගෙන ගියේ. ඒ ශිෂ්‍ය සංවිධානයෙන් තවත් 15ක් විතර ඉවත් කළා.

රජයේ නීතිඥවරිය – හිස්බුල් අරමුදල කියන්නේ මොකක්ද?

සාක්ෂිකරු – පාර්ලිමේන්තු පනතකින් සම්මත අරමුදලක්.

රජයේ නීතිඥවරිය – ඉබ්‍රහිම් මවුලවි සිය පුතා වන සාදික්ට සහයෝගය දුන්න කියල දන්නවද?

සාක්ෂිකරු – ඔව්, මම මල්ලිලා එක්ක ​ගොඩක් සාකච්ඡා කළා මේ මතවාද වැරදි කියා. මේවට සම්බන්ධ වෙන්න එපා කියලා. ඒත් එයා ඒවා පිළිගත්තෙ නැහැ.

රජයේ නීතිඥවරිය – ජමාතේ ඉස්ලාමියා සංවිධානයෙන් රෂිඩ් ඉබ්‍රහිම් නෙරපුවද?

සාක්ෂිකරු – 2018/6/6 දින ලිපියක් යොමු කිරීමෙන් පසුව ඔහු ජමාතේ ඉස්ලාමියා සංවිධානයෙන් නෙරපුවා.

රජයේ නීතිඥවරිය – සාදික් තුර්කියට යනවා කියලා ‘සිරියාව’ට ගිය බව දන්නවද?

සාක්ෂිකරු – පස්සෙ දන්නවා.

රජයේ නීතිඥවරිය – 2015 සිරියාවේදී අයි.එස්. සංවිධානය සමග සටන් වැදිලා ‘නිලාම්’ කියලා ශ්‍රී ලාංකිකයකු මියගිය බව දන්නවද?

සාක්ෂිකරු – පත්තරෙන් දැනගත්තේ

රජයේ නීතීඥවරිය – සහරාන් හෂීම්ගෙන් ඔබට දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවද?

සාක්ෂිකරු – 2018 වර්ෂයේ ඔහුගේ දේශනාවක් සම්බන්ධයෙන් මා දුන් පිළිතුරකට අනුව සහරාන් දුරකථනයෙන් කතා කළා. ඒක සහරාන් රොකෝඩ් කරලා තියෙනවා. මට විනාඩි 40ක් විතර කතා කළා. කතා කරලා ඔහු සමග විවාදයකට එන්න කිව්වා.

රජයේ නීතිඥවරිය – ඔබ යම් අවස්ථාවක අත්අඩංගුවට පත්වුණාද?

සාක්ෂිකරු – 2019 අගෝස්තු 25 වැනිදා සහරාන් සමග සබඳතා පැවැත්වූවා කියලා අත්අඩංගුවට ගත්තා. සී.අයි.ඩී. සහ ටී.අයි.ඩී. එකෙන් ප්‍රකාශ ගත්තා.

රජයේ නීතිඥවරිය – නිදහස් කළේ කවද්ද?

සාක්ෂිකරු – 2019 සැප්තැම්බර් මස 27 වැනිදා

රජයේ නීතිඥවරිය – ඔබගේ පුතකු තුර්කියට ගියාද?

සාක්ෂිකරු – තුර්කියෙන් ලැබුණු ශිෂ්‍යත්වයකට ගියා. තුර්කි භාෂාව අවුරුද්දක් ඉගෙන ගත්තා. ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප් විෂය අවුරුදු 4ක් කළා.

රජයේ නීතිඥවරිය – ඔබේ පුතා ශිෂ්‍යත්වය ගත්තේ කොහොමද?

සාක්ෂිකරු – ඔන්ලයින් එකෙන් එයාම උත්සාහ කරලා ගත්තෙ.

රජයේ නීතිඥවරිය – සාදික් තුර්කියට ගිය වෙලාවේ ඔබේ පුතා හමුවුණාද?

සාක්ෂිකරු – සාදික් ගිහින් මගේ පුතා හමුවෙලා තියෙනවා.

රජයේ නීතිඥවරිය – මොනවද ඔබේ පුතා ලංකාවේ කළේ?

සාක්ෂිකරු – ට්‍රාන්ස්ලේට් වැඩ කළා. ඔහුගේ නම ‘හජ්යුල් අක්බර් රිසාඩ් අල් හකිම්’ වයස අවුරුදු 29ක්.

සාක්ෂිකරු – මේ වෙද්දී ඔහු තුර්කියේ සමුළුවකට ගිහින් ඉන්නෙ පරිවර්තන කටයුතුවලට.

රජයේ නීතිඥවරිය – මොනවද පරිවර්තනය කරන්නෙ?

සාක්ෂිකරු – දේශපාලනයෙන් තොරව ආගම අදහන්න ඕන කියලා ඉස්ලාම් ආගම ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කරනවා.

රජයේ නීතිඥවරිය – ලංකාවේ, ඉන්දියාවේ දෙමළ උදවියට දෙන්නද මේ පරිවර්තනය කරන්නෙ?

සාක්ෂිකරු -ඔව්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button