BREAKING NEWSEXCLUSIVE

ඉෂාලිනීගේ දේහය ගොඩ ගැනීම කල්‍ යයි..??

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි ඉෂාලිනී දැරියගේ මිහිදන් කළ දේහය අද ගොඩ ගැනීමට නියමිතව තිබුණත් එය සිදුකෙරුණේ නැහැ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයේ යෙදී සිටි 16 හැවිරිදි ජූඩ් කුමාර් ඉෂාලිනී දැරිය පිළිස්සී මියයාමේ සිද්ධියට අදාළව පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනවා. සිද්ධියට අදාළ නඩුව ඊයේ කැදවූ අවස්ථාවේ දේහය යළි ගොඩගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එහිදී දන්වා සිටියේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නැවතත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. එබැවින් ඊයේ දිනයේ සිට සිරුර මිහිදන් කළ ස්ථානය අවට ආරක්ෂාව තර කිරීමටයි ඩයගම පොලීසිය ක්‍රියාකර තිබෙන්නේ.

එම සිරුර ගොඩගැනීමට අද දිනයේ සැළසුම්කර තිබුණ ද එය සිදුවූයේ නැහැ. විශේෂ පරීක්ෂණයක් සදහා ඩයගම ප්‍රදේශයට පැමිණ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු විමර්ශන කණ්ඩායම කිහිප දෙනෙකුගෙන් දීර්ඝව ප්‍රකාශ සටහන් කර ගන්නා අයුරු දකින්නට ලැබුණා.එහිදී දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ තරුණියන් කිහිප දෙනෙකුගෙන් හා තැරැව්කරුගේ පවුලේ සාමාජිකයින්ගෙන් පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මීට පෙර සේවය කළ කාන්තාවන්ද මේ අතර වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිද ඇතුළු සැකකරුවන් 4 දෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේ දෙවන දිනටයි. එහිදී ඔවුන් ලබන 9 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මේ වනවිට මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වනවා. සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඊයේ සදහන් කළේ සිද්ධිය සිදුවූ නිවසේ ගෘහ මූලිකයා ලෙස රිෂාඩ් බදියුදීන් ක්‍රියාකර ඇති බැවින් ඔහු ද සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් ප්‍රදේශ කිහිපයකදීම උද්ඝෝෂණ පැවැත්වුණා. ඩයගම ප්‍රදේශයේ කම්කරුවන් පිරිසක් ඩයගම වතු යායෙන් ආරම්භ කළ උද්ඝෝෂණ පාගමන නගරය පසුකරමින් ඉෂාලිනී මිහිදන් කළ පොදු සුසාන භූමිය දක්වා පැමිණියා. එහිදී පහන් දල්වමින් දැරිය වෙනුවෙන් ශෝකය පළකෙරුණා.

නාවලපිටිය නගරයේ දී ද උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. ජයතිලක ක්‍රීඩාංගනය අසල සිට පාගමනින් පැමිණි ජනතාව නගරය මධ්‍යයේ සිට උද්ඝෝෂණයේ නියැලුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button