BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය වන බව IMF පවසයි.

වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරණ උත්සහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම අරමුදල පෙන්වා දෙන්නේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බලධාරින් සමග සමීපව කටයුතු කර අනෙක් සියලු පාර්ශවකරුවන් සමග එක්ව අර්බුදය කාලෝචිත ලෙස විසඳාගැනීමට සහාය වන බවය.

අප්‍රේල් 18 සහ 22 යන කාලය තුළ අමෙරිකාවේ වොෂින්ටන්හිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග පැවති සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසයිරෝ නොසාකි විසින් ඒ බව ප්‍රකාශ කර තිබේ.

අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන ණය වැඩසටහන සඳහා කළ ඉල්ලීම සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා බලධාරීන් සමග ඵලදායී තාක්ෂණික සාකච්ඡා පැවැත්වූ බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීම හා එහි සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම, වත්මන් අර්බුදය තුළ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව විශ්වාසනීය උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව එම සාකච්ඡාවලට ඇතුළත් වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ණය හිමියන් සමග සහයෝගී සංවාදයක නිරත වීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ සැලැස්ම පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී ඇත

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button