BREAKING NEWSEXCLUSIVE

ජනපතිගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක, O/L නැතුව, රජයේ රැකියා ලක්ෂයේ පෝලිමට එකතුවෙන හැටි මෙන්න!

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අඩු ආදායම්ලාභී පවුල්වල සිටින අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයන්ට රැකියා ලබාදීමේ මූලික පියවර මේ වන විට ආරම්භ කර ඇත.

රජයේ රැකියාවක් හෝ පෞද්ගලික අංශයේ කුමන හෝ රැකියාවකට අනුයුක්ත වෙනවා නම් මෙරට පිළිගත් ක්‍රමවේදයක් ලෙස අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සමත්වීම හා  NVQ සහතිකලාභියකුවීම මින් පෙර දක්වා තිබිණි. නමුත් වත්මන් ආණ්ඩුවේ මෙම ව්‍යාපෘතිය මඟින් අ.පො.ස. (සා.පෙළ) සමත්වීමේ

මට්ටමට වඩා පහළ මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් සහිත අයැදුම්කරුවන්ටද ප්‍රමුඛතා හිමිවීම විශේෂයි.

වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “දිළිඳු බවින් තොර ශ්‍රී  ලංකාවක් බිහිකිරීම” ප්‍රධාන සංකල්පයකි. විශේෂයෙන් මෙරට අඩු ආදායම්ලාභීන් ලෙස සැලකෙන සමෘද්ධිලාභීන්ව එම තත්ත්වයෙන් මුදාගෙන උසස් ජීවන තත්ත්වයක් ලබාදීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

මෙම සමෘද්ධිලාභීන් පිළිබඳව සංවාදය තුළින් මතුවූ කාරණාවක් වූයේ එම පවුල් ආරම්භයේ සිට අවසානය දක්වාම සමෘද්ධිලාභීන් ලෙසම පවතින තත්ත්වයයි. වත්මන් රජයට අවශ්‍ය වන්නේ ක්‍රමානුකූලව එම පවුල් සමෘද්ධිලාභී ලැයිස්තුවෙන් ඉවත් කර ගැනීමයි.

මෙම පවුල්වලට ලැබෙන සමෘද්ධි දීමනාවෙන් එම පවුල්වල සිටින වැඩිහිටියන් සහ ළමයිද යැපෙන බව කවුරුත් දන්නා කරුණකි. ඇතැම් විට එම ළමයිගේ අධ්‍යාපන කටයුතු පවා සිදුවන්නේ එම දීමනාවෙන් නිසා එම ළමයිගෙන් එක් අයකුට හෝ රජයේ  රැකියාවක් හිමිවීම තුළින් එම පවුල්වල දිළිඳු බව නැති කිරීම හා එම පවුල්වලට ගුණාත්මක ජීවිතයක් ලැබීම සේම, එම සමෘද්ධි දීමනාවන් ලැබෙන ඇතැම් පවුල්වල දරුවන් නොමඟට යෑම වැළකීම පිළිබඳවද රජයේ අවධානය යොමුවීම වටිනා කාරණාවකි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම”ට අනුව දියත් කෙරෙන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය පිළිබඳව සැකවින් දැක්වුවොත් මෙසේය.

අඩු ආදායම්ලාභී පවුල්වල සිටින අවම අධ්‍යාපන සුදුසුකම් සහිත එක් පුද්ගලයකු තෝරාගෙන රජයේ රැකියාවකට යොමු කිරීම තුළින් එම පවුල් දිළිඳු බවින් මුදා ගැනීම සහ එම ශ්‍රම බළකායේ නිපුණතා සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට දායක කරගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ බහුකාර්ය සාධක, කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුවයි. එහි පළමු පියවර ලෙස රැකියා ලක්‍ෂයක් ලබාදීම රජයේ අරමුණ වන අතර බඳවා ගැනීමේ මූලික කටයුතු පසුගිය 20 වැනිදා සිට ආරම්භ කර ඇත.

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මඟින් විධිමත් ක්‍රමවේදයකට හඳුනාගන්නා රැකියාලාභීන්ට මාස 06ක රැකියා පුහුණුවක් ලබාදේ. එම රැකියාලාභීන් පදිංචි ප්‍රදේශවල පවතින රැකියා අවස්ථාවන්වලට ගැළපෙන වෘත්තීය පුහුණුවක් ලබාදීමට රජය කටයුතු යොදා තිබේ.

අ.පො.ස. (සා.පෙළ) සමත්වීමේ මට්ටමට වඩා පහළ මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් සහිතවීම, අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 40ට නොවැඩිවීම, සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසු එහෙත් නොලැබෙන පවුලක රැකියා විරහිත සාමාජිකයකු වීම, සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයකු වීම, වයස්ගත රෝගාතුර මවුපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියාවක් නොමැති සාමාජිකයකු වීම හා අයැදුම් කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වීම මෙම රැකියා ව්‍යාපෘතියට ඉල්ලුම් කළ හැකි සුදුසුකම් වේ.

රැකියා පුහුණුව සඳහා තෝරා ගැනීමේදී එක් පවුලකින් සුදුසුකම් සපුරා ඇති එක් ඉල්ලුම්කරුවකු ගැන පමණක් සලකා බලනු ලබයි. අයැදුම්කරුවන් පදිංචි ගම් ආශි්‍රත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයැදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්‍ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කරනු ලබයි.

එමෙන්ම තමා පදිංචි ප්‍රදේශය තුළ හෝ ආසන්න ප්‍රදේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවලදී මෙම පුහුණු කටයුතු සිදුකිරීමට නියමිතය.

සංවර්ධන පුහුණුවකින් පසුව පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල රැකියා සඳහා අනුයුක්ත කිරීමට රජය සැලසුම් කර ඇත.

මෙම මාස 6ක පුහුණු කාලයේදී මසකට රුපියල් 22,500ක දීමනාවක් ගෙවීමටද රජය සැලසුම් කර තිබේ. සාර්ථකව පුහුණුව නිම කරන පුද්ගලයන්ට පුහුණුව ලැබූ ක්‍ෂේත්‍රයට අදාළව තම පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන (PL 1)  වැටුප් හා දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමට අවස්ථාව හිමිවේ.

එහි සුවිශේෂීතාව වන්නේ වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුපකට හිමිකම් කීමයි.

මේ සඳහා අයැදුම් කළ හැකි ආකාරය සඳහන් කළහොත් පසුගිය ජනවාරි 20දා පළවූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයැදුම්පත් 2020.02.15 වැනි දිනට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත භාර දිය යුතුය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී හා ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් පොදු ස්ථානවලදී තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකාය විසින් 2020.02.26 වැනි දින සිට දින 05ක් තුළ පවත්වනු ලැබේ. අයැදුම්කරුවන් සම්මුඛ පරීක්‍ෂණ සඳහා පැමිණෙන විට ග්‍රාම නිලධාරී සහතික හා වෙනත් ලියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කළ යුතුය.

මෙම රැකියාලාභීන් සඳහා අත්වන ඉහළම ප්‍රතිලාභය ලෙස දැක්විය හැක්කේ ඉහළ කාර්යසාධනය සහිත පුද්ගලයන්ට විදෙස් රැකියා සඳහා යොමුවීමට හැකියාව ලැබීමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button