SMART UPDATE

පිට පොට පටලවාගත් ජාතියක විකෘති සාර්ථකත්වයෙන් එහා මානය – ගුරුවරයකුගේ ඇසින්

“සතුටි දිවි ගෙවන මග”, “ධනාත්මක චින්තනය”, “කෝටිපතියෙකු වන මග” , ” සාර්ථකතවය” යනාදී ලෙස නානප්‍රකාර මාතෘකා යටතේ සාර්ථකත්වය පිළිබද සිහින ලෝකයක අතරමන් කරවීමට සමත් දේශණයකට සහභාගී නොවූවෙකු සොයා ගැනීම දුර්භය.

එවන් සාර්ථකත්ව වැඩ මුළුවකට සහභාගීව ධනාත්මක ලෙස ආත්මවිශ්වාශය වැඩී ඔවුන් මහ පෙන්වූ පරිදි දියුණුවේ හිණි පෙත්තට ගිය පුද්ගලයින් ඇත්ත වශයෙන්ම සිටීදැයි නොදනිමි.

සාර්ථකත්වයේ පරමාදර්ශී චරිත බවට පත්ව ඇති ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වැනි අය ධනාත්මක චින්තන දේශණයක් අසා තමන් සාර්ථක වූ බවක් කොතනකවත් පවසා ද නැත. එසේම සාර්ථකත්වය පිළිබද කෙස් පැලෙන තර්ක ඔස්සේ තම ආකර්ශණීය දේශණය මෙහෙයවන දේශකයා ඇත්තටම තම ක්‍රම වේද අත් හදා බැලීමෙන් ප්‍රත්‍යක්ෂ කොට ඒවා ලෝකයට ප්‍රකාශ කරන්නේද යන්න ඔබ විසින් සොයා බැලිය යුතුය.

ඒ කියන ඒවා ඔහුගේ ජීවිතය තුළ පවා ප්‍රායෝගිකව භාවිත වනවාද යන්න කිසිවෙකු නොදනී. අනුන්ට සාර්ථකත්වයට මග කියා දෙන තම දේශණ තුළින් ඔහු නම් පුද්ගලිකව සාර්ථක වී ඇති බව පැහැදිලිය. මෙය අප දකින්නේ තම දරුවාවත් සාමාන්‍ය පෙළ සමත් කරවීමට අසමත් මාතර කට්ටඩියෙකු රටේ වෙනත් උන් සමත් කරවීමට ඝන දෙවි දැහැනින් යන්තරයක් සාදා දීමක් වැනි ක්‍රියාවකටය.

කිසිවෙකුට පහර ගැසීමක් නොව සමාජ යාථාර්ථයක් දෙස අවධානය යොමුකරවීම මෙහි ඒකායන අරමුණ වේ.

සත්‍ය ලෙසම සාර්ථකත්වය යනු කුමක්ද? ප්‍රසිද්ධ අර්ථ දැක්වීමට අනුව අවසානයේ කෝටියක මුදලක් තම බැංකු ගිණුම තුළ පවතී නම් ඔහු සාර්ථක පුද්ගලයෙකි. එසේ නැතහොත් තමා සිටින විශය ක්ෂේත්‍රය තුළ ඉහළම තලයට ලගා වූවන් සාර්ථක පුද්ගලයින් ලෙස සමාජය අර්ථ දක්වයි. ඒ අනුව හිට්ලර්ද ප්‍රභාකරන්ද සාර්ථක පුද්ගලයින්ට උදාහරණ විය යුතුය.

සාර්ථකත්වය යන්නට සමාජය ලබා දී ඇති අර්ථකතන ඉතා පටු සීමාවකට කොටු වී ඇති බව බවත් මෙහි අර්ථය මීට වඩා පුළුල් මානයකට ගමන් කල යුතු බවත් ඔබට වැටහෙනු ඇත. සාර්ථකත්වය යන්න ඉහළ අහසේ පවතින ලෙහෙසියෙන් පහසුවෙන් ලගා විය නොහැකි අසීමිත පරිශ්‍රමයක අවසාන ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වා තිබේ.

නමුත් එය එසේමද? සාර්ථකත්වයේ අරමුණ දෙස මදක් විමසා බලමු. සාර්ථකත්වයේ අරමුණ පුද්ගලයා සතුටින් සිටීමයි. සියලු දෙනාම සාර්ථක වීමට උත්සාහ ගන්නෙ එම සාර්ථකත්වය තුලින් ජීවිතයේ සතුට ලගා කර ගැනීමටය. එය එතරම්ම ඉතාම සරලය.

එසේ වුවත් එයට අතිශය සංකීර්ණ අර්ථයක් ආරෝපණය කිරීම තුළ සාර්ථක මිනිසුන් පවා අසාර්ථක වූවන් ලෙස හීනමානයෙන් ජීවත් වෙනු දැකිය හැක. එසේ නම් යමෙක් සතුටින් දිවි ගෙවයි නම් ඔහු ඇත්තටම සාර්ථක පුද්ගලයෙක් යන්න විවාදයක් තිබිය හැකිද? ඔහු ජීවත් වන්නේ ගහක් යට වුවත් සිටින්නේ සතුටින් නම් ඔහු සාර්ථක පුද්ගලයෙක් නොවේ යයි කිසිවෙකුට තර්ක කල හැකිද?

ලෝකයේ ධනවත් බලවත් පුද්ගලයින් සියලු දෙනාම සතුටින් සිටින්නෝද? අතිශය ධනවත් නමුත් අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි වලින් පීඩා වලින් අනේක දුක් විදින මිනිසෙකුට සතුටින් ජීවත් විය හැකි වන්නේ කෙසේද? අතිශයින් ධනවත් තම පවුල් ජීවිත අවුල් කර ගත් අයාලේ ගිය දරුවන් ඇති මිනිසෙකු සතුටින් ජීවත් වන්නෙක් විය හැකිද?

ධනය , බලය , නිලය හෝ වත්කම් මත සාර්ථකත්යක් කිසිසේත් ම මිනිය නොහැකි බව මින් පෙනී යන තිත්ත ඇතතයි. පොල් අතු පැලක සාමාකාවීව ජීවත් වන පවුලක සතුට පවතී නම් ඔවුන් තුල සාර්ථකය පවතී. අවම වශයෙන් යමෙක් තුළ මේ මොහොතේ මානසික සැහැල්ලුව හා නිරෝගී බව පවතී නම් මේ මොහොත තුළ ඔහු සාර්ථක මිනිසෙකි.

පියවර දහසකින් යුත් ගමනක අවසානයේ ලබන ඵලය සාර්ථක්ත්වය නොවේ. තබන සෑම පියවරක් පාසාම ඔහු සැහැල්ලු සිතින් ගමන් කරයි නම් සාර්ථකත්වය එම මොහොතේ ඔහු තුළ පවතී යන්න එහි අදහසයි.

එක්තරා කෙටි කථාවක් මෙහිදී සිහිපත් වේ. එක් ගුරුවරයෙකු තම ගෝලයා අමතා ” මට ඔයාට දෙයක් පෙන්වන්න තියෙනවා. අපි හෙට උදේ අර පේන උස කන්ද මුදුනට යමු. මම එතනදි ඒක පෙන්වන්නම්. ” ගෝලයා උදෑසනම මහත් උනන්දුවෙන් අවදිව ගමනට අවැසි සියලු දේ සූදානම් කරගෙන ඒ බව ගුරුවරයාට දැන්වීය.

දෙදෙනා ම කන්ද නැගීම ආරම්භ කලහ. ගෝලයාට කන්ද මුදුනට නගින තුරු ඉස්පාසුවක් නැත. ඔහු දහදිය වගුරමින් ලහි ලහියේ කන්ද මිදුනට වේගයෙන් නැගීමේ අභිලාශයෙන් නගින්නට විය. නමුත් ගුරුවරයාට කිසිදු හදිසියක් නැත. ඔහු තබන පියවරක් පාසා සන්සුන්ව අවට සිරි නරඹමින් මහත් සැහැල්ලුවෙන් විවේක ගනිමින් කන්ද නගින්නට විය. ගුරුවරයාට පැය ගණක සැහැල්ලු ගමනකිනුත් ගෝලයාට හතිලමින් දහදිය දමන අධික වෙහෙසකර ගමනකිනුත් අවසානයේ කදු මුදුනට ලගා විය.

ගුරුවරයා ගස් සෙවනක හිදගෙන අවට සිරිනරඹමින් සිටියා මිස කන්ද මතදී පෙන්වනවා යැයි කියූ දේ පිළිබද වගේ වගක් නොමැතිව සිටියේය.ගෝලයාගේ ඉවසීමේ සීමාවේ රතු කට්ට පැන්නේය. “මොකද්ද ගුරුතුමා අර පෙන්නනව කිව්වෙ. තවම මොනවත් පෙන්නව තියා වචනයක් කතා කලේවත් නැහැනෙ. ” ගුරුවරයා ” ආ.. ඉන්න බලන්න.. හරි මේ මේ තියෙන්නෙ. මෙන්න මේ ගල් කෑල්ල. ” කියා කිසිදු වැඩගැම්මකට නැති ගල් කැබැල්ලක් පෙන්වීය.

ගුරුවරයාගේ මේ අපබ්‍රන්ස ක්‍රියාවෙන් ඉහමොළ රත් කරගත් ගෝලයා “මොකද්ද ගුරුතුමා ඔය ගල් කෑල්ලක් පෙන්නන්ද මාව මේ තරම් දුරක් මේ කන්ද උඩකට අරන් ආවෙ? ” කියා තදින් ඇසීය. ” පුතා. කන්ද මුදුන මතට පැමිණීම කියන්නෙ අපේ ගමනෙ තවත් එක පියවරක් විතරයි. මේ අන්තිම පියවර කදු මුදුනෙහි තැබිය හැකි වූයේ ඊට පෙර කදු මුදුනට ඔබ ලගා වීමට ඉහළට තැබූ දහස් ගණනක් පියවර එකතුව නිසා නොවේද?

නමුත් ඔබ සතුටු වීමට අවසාන පියවර තබන තුරුම ප්‍රමාද වුනේ. ඔබ තැබූ අනික් පියවරයනුත් මේ හා සමාන පියවරම තමයි. නමුත් ඔබ ගමනාත්තයේ දකින දෙයින් පමණක් සතුට සොයන්නට ගිය නිසා මගදී තැබූ පියවර දහස් ගණනක දී ඔබට විදින්නට තිබූ අසීමිත සුන්දරත්වය අහිමි විය. සතුට ඇත්තේ ඉලක්කයට ලගා වූ පසුව පමණක් නොව. ඉලක්කය යන ගමන පුරාවටද සතුටින් ගමන් කරන්න. සාර්ථකත්වය යනු අවසාන පියවර නොව. ඒ උදෙසා තබන සියලුම පියවරයන්ය.

ඔබ යම් ඉලක්කයක් සාර්ථක කර ගැනීම උදෙසා මේ මොහොතේ ඉතා නැවැරදිව ක්‍රියාත්මක වේද? මේ මොහොතේ අද දින ඒ උදෙසා ක්‍රියාත්මක වූ ආකාරය පමාණවත් ද? පිළිතුට ඔව් යන්න නම් ඔබ දැනටමත් සාර්ථක පුද්ගලයෙකු වී අවසානය. එය අනාගත ඉල්ලක්කය සාක්ෂාත් වූ පසුව ලබන ඵලයක් නොවන බව සිහි තබා ගන්න.

පියවර දහසකින් යුත් ගමණක් ඇත. මේ මොහොතේ ඒ දෙසට තැබිය යුතු පියවට නිවැරදිව තබන්න. පියවර නමසිය අනූ නමයකින් ඔබ ඉලක්කය ලගා වූ බව සැක හැර දැනගැනීමට එවිට ඔබට හැකිවනු ඇත. අවසානයේ යම් දිනෙක ඔබ පියවර දහසම සැහැල්ලුවෙ හා සාර්ථකව නිමා කර දහස් වන පියවර ගමනාන්තය කරා තබනු ස්ථිරය.

එසේම මුළු මහත් ගමන පුරාම ඔබ ජීවිත විද ඇත. ජීවිතය ජීවත් කරවා ඇත.

  • ජීවන පේරුසිංහ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button