OFF ROADSOCIAL MEDIA PICKS

වැඩක් නොකර මසකට ලක්ෂ 70ක වැටුපක් ලබනා හතුරුසිංහගේ වික්‍රමය

මෙවර දකුණු ආසියානු තරගාවලියේ මළල ක්‍රීඩා අංශයේ වැඩිම රන් පදක්කම් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාවයි. එහිදී දස්කම් දැක්වූ මළල ක්‍රීඩක ක්‍රීඩකයන්ට පෝෂදායි ආහාර සඳහා මසකට අවශ්‍ය රුපියල් 15 000ක් පමණ මුදලක් හෝ ගෙවීමට ක්‍රීඩා අමාත්‍යංශය හෝ අනුග්‍රහයක් නොමැත.

රැකියා කරමින් තමන් විසින්ම නඩත්තු වෙමින් ඔවුන් මවුබිම වෙනුවෙන් පදක්කම් දිනති.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තත්වය එසේ වුවත් මේ වනවිට කිසිදු සේවයක් නොකර, නිවසට වී සිටිනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මසකට රුපියල් ලක්ෂ 70ක වැටුපක් ලබා ගනියි.

බංග්ලාදේශයේදී ඔහු කළ හපන්කම නිසා තිලංග සුමතිපාල ක‍්‍රිකට් සභාපතිවරයාව සිටියදී හතුරුසිංහට ලක්ෂ හැත්තෑවක් පමණ මාසිකව ගෙවමින් කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කළේය.

නමුත් දැන් හතුරුසිංහ සිටින්නේ සියලු තනතුරු වලින් ඉවත් කර කිසිදු රාජකාරියක් නොමැතිවය. එසේ වුවත් ඔහු තවමත් ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබයි. හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තුවේ අවුල ලිහා ගැනීමට නොහැකිව ලතවන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඔහුට මාසික වැටුප තවමත් ගෙවමින් සිටීම හාස්‍යජනකය.

ඉකුත් ජූලි මාසයේ සිට චන්දික හතුරුසිංහව ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කළ අතර එතැන් සිට ගතවූ මාස පහක කාලයක් තුළදී කිසිදු වැඩක් නොකරමින් සිටින හතුරුසිංහට ඒ අතරතුර කාලයේදී රුපියල් ලක්ෂ 350 ක් පමණ පඩි වශයෙන් ගෙවා ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් හතුරුසිංහව ඉවත් කිරීමෙන් පසුව ඔහු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණු ඒකකයේ වැඩ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකාරීත්වය භාර කළද එම යෝජනාව හතුරුසිංහ විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

ඔහු කොන්ත‍්‍රාත්තු අත්සන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට බැවින් වෙනත් තැනක සේවය කිරීම ඔහු ප‍්‍රතික්ෂේප කර තිබීමෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඔහුට නිකරුනේ වැටුප් ගෙවීමට සිදුව ඇත.

හතුරුසිංහගේ අදාළ වැටුපට අමතරව නිවසක් සහ වාහනයක් ලබාදීමටද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කටයුතු කර ඇත.

චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර මාධ්‍යයට පවසා සිටියේ ‘‘මට ඕන විදිහට හැම දේම වෙන්න ඕන. මොකද පරාජයට වගකියන්න ඕන මම නම් මට ඕන විදිහට වැඩ කෙරෙන්න ඕන. එහෙම වෙන්නෙ නැතිනම් මට ගහක් යට හරි පුහුණුකරු රස්සාව කරන්න පුළුවන්.’’ යනුවෙනි. එසේ කී හතුරුසිංහ පුහුණුකරුවකු ලෙස ගොඩනගා ගත් කීර්තිනාමය මේ යන විදිහට හෑල්ලූ වෙමින් තිබේ.

මෙම ක්‍රියාවෙන් ශ්‍රී ලංකා ජාතිකයෙක් වන හතුරුසිංහගේ කීර්ති නාමය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රික‍ට් ආයතනයේ මුදල්ද අපතේ යන නිසා මෙම ගැටලුවට වහා පිළියම් යෙදීම ක්‍රිකට් ආ‍යතනයේත් හතුරුසිංහගේත් වගකීමයි.

මේ වන විට විදෙස් පුහුණුකරුවන් සිව්දෙනකු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සොයාගෙන ඇති අතර එහිදී ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් මිකී ආතර්, පිතිකරණ පුහුණුකරු වශයෙන් ග‍්‍රාන්ට් ෆ්ලවර්, පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් ක්‍රෙග් මැක්ඩොමට් සහ වේග පන්දු පුහුණුකරු වශයෙන් ඩේවිඩ් ෂකර් තෝරාගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button