BREAKING NEWSEXCLUSIVE

බන්ධනාගාරගත තරුණ සැකකරුවන්ට සහනයක් දෙන්න- නාමල් මැතිසබයේදි ඉල්ලයි

තීන්දුවක් නොමැතිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින තරුණ සැකකරුවන්ගේ ජීවිතවලට යම් සාධාරණයක් ඉටු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියා.

නඩු නිමිත්තක්වත් නොමැතිව රක්ෂිත බන්ධනාගාරවල ඉතා දීර්ඝ කාලයක් ගත කරන පිරිස් සිටින බව කියාසිටි අමාත්‍යවරයා, නඩු තීන්දුවේ දඬුවමට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කළ පුද්ගලයන් සිටින බව අනාවරණය කළේය.

මේ පිරිස අතර විශාල සංඛ්‍යාවක් එල්.ටී.ටී.ඊ සැකකරුවන් ද සිටින බව සඳහන් කළ අමාත්‍යතුමා, මේ අයට යම් සාධාරණයක් ඉටු කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ගෙන ආ මෙම යෝජනාවට ආශිර්වාද කරමින් සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ අතර අකිල ඉලංකෙයි තමිල් ක්‍රොංගසයේ මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා ඊට වෙනස් මතයක් දරමින් කරුණු ඉදිරිපත් කළේය.

තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ගෙන ආ මෙම යෝජනාව දේශපාලන කෝණයෙන් බැලීමෙන් වළකින්නැයි ඉල්ලා සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, පොන්නම්බලම් මන්ත්‍රිවරයා ඇතුළු එම සන්ධානයේ මන්ත්‍රීවරුන් සහය දුන් පසුගිය ආණ්ඩු කාලයේදීවත් මෙවැනි සාධාරණයක් ඉටු කර ගැනීමට නොහැකිවුණ නිසා මේ සඳහා දැන් ලැබෙන විසඳුමකින් ඔවුන්ගේ දේශපාලනය අභියෝගයකට ලක්වනු ඇති බවට ඉඟි පළ කළේය.

තම පියාටත් උගන්වාගන්න බැරිවුණ පාඩමක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් අද විපක්ෂය එදා ඔවුන්ගේ ආණ්ඩු කාලය තුළ තමන්ට ඉගැන්වූ බව සිහිපත් කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව කිසිවිටෙකත් ජනතා අසාධාරණයක් හමුවේ නිහඬව නොසිටින බවට විශ්වාසය පළ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button