රංජන් සමඟ දුරකථනයෙන් නඩු ඇසූ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ අධිකරණ නඩු කටයුතු පිළිබඳ දුරකථනයෙන් සංවාදයේ යෙදුණු ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නිර්දේශය සලකා බැලූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කිරීමේ ලිපියට අත්සන් තබා අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කර තිබිණි.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ගිහාන් පිලපිටිය හිටපු ඇමැති ඒ. එච්. එම්. ෆවුෂිට එරෙහිව නඩුවකදී රංජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් උපදෙස් ලබා ගන්නා හඬපටයක් මෙලෙසට මාධ්‍ය ඔස්සේ විකාශය විය.
අධිකරණ විනිසුරුවරුන්ට නොගැළපෙන අයුරින් ගිහාන් පිලපිටිය කටයුතු කර ඇති බවට ඉදිරිපත් වූ වාර්තා සලකා බැලූ අධිකරණ සේවා කොමිසම ඔහු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඉල්ලා තිබිණි.
ඒ අනුව ජනාධිපතිවරයා ගිහාන් පිලපිටියගේ සේවය වහාම අත්හිටුවීම සඳහා පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිසමට නියෝග කර තිබිණි.