BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාසල් නැවත ආරම්භයේදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබාගන්න – අගමැති

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ඒ, පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට, සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහා ම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම ද ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ලබාගත හැකි බව ද එතුමා එහි දී පෙන්වා දුන්නෙමි.

පාසල් නැවත ආරම්භ කිරීමේ දී ඇති වන ගැටලු මගහරවා ගැනීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ. රටේ අධ්‍යාපන කලාප 99 උදෙසා ම තම සංගමයේ නියෝජිතයින් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව අධ්‍යාපන බලදරීන් පැවසූහ.

පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණියේ හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාව දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේ ය. මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබා දීමේ වැදගත්කම ද ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.

රටේ අනාගත දරු පරපුර මෙන් ම ඔවුන්ට මග පෙන්වන ගුරුවරු ද ආරක්ෂා කර ගැනීමට රජය සෑම විට ම කටයුතු කරන බව අගමැතිවරයා අවධාරණය කල අතර, පාසල් ආරම්භ කිරීමේ දී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ පාසලට කැඳවා ගැනීම පිළිබඳ ව වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ද පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා විසින් අධ්‍යාපන බලධාරීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේය.

ගැබිනි මව්වරුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබා දුන් සහයෝගය මෙහි දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇගයුමට ලක්විය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පාසල් කටයුතු අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන, පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ කමණි ගුණරත්න, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු වන ටී.එල්.පී. සෝමතුංග, මහේන්ද්‍ර ආර්නල්ඩ්, ශාමන් රජීන්ද්‍රජිත්, සුරන්ත පෙරේරා, මහචාර්ය සනත් ළමාබදුසූරිය ඇතුළු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පිරිසක් ද සහභාගී වී සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button