BREAKING NEWSEXCLUSIVE

“මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා” ජනපති ඉල්ලයි…

“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට – ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න – මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා – අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට
අද (23) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලීය. අනතුරුව වගා බිම් වෙත පැමිණි ජනාධිපතිතුමා එහි වගා කොට තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් පිළිබඳ නිරීක්ෂණය කළේය. කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරය ද දැක බලා ගනු ලැබීය. ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කෙරේ. අක්කර 13ක පමණ වූ පොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු ද ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරයි.

තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ය. දේශපාලන නායකයන් නො ගන්නා අසීරු තීරණ ඒ වෙනුවෙන් ගැනීමට සූදානම් ය. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටි නමුත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.

තමාට අවශ්‍ය ඡන්දය නො ව, ජනතාවට නිවැරදි දේ කිරීම බවත්; නිවැරදි දේ වෙනුවෙන් නොබිය ව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දිහා පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නො වන බව ද පැවසූ ජනාධිපතිතුමා ජනතාව තමන් නායකයා ලෙස තෝරා පත් කරගත්තේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට බව ද පවසනු ලැබීය.

කාබනික වගාවන් හි නියැලෙන ව්‍යවසායකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ජනාධිපතිතුමා මෙම සංචාරයට එක් විය.

අනතුරුව උඩුබද්දාව ප්‍රාදේශීය සභාව භූමියේ ඇති කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළේය.

අමාත්‍යවරුන් වන ජෝන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, යූ.කේ. සුමිත්, සමන්ප්‍රිය හේරත්, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ, උඩුබද්දාව ප්‍රාදේශීය සභා සභාපති රාජ් සිසිර කුමාර සහ බිංගිරිය ප්‍රාදේශීය සභා සභාපති දිමුත් තුෂාර යන මහත්වරු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button